ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කිරීමයි, මාගේ නොදැනුවත්කම හා අල්ප දැනුමට කමත්වා – හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

මිනීමරුමකට වරදකරුවෙකු වූ අයෙකුට මහා මැතිවරණයකට ඉදිරිපත්වීම, තේරීපත්වීම, මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම්දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය දීම සිදු කළ නොහැකි බව මේ දක්වාම මෙයට මොහොතකට පෙර දක්වාම සිතා සිටියෙමි. ඒ නිසා ප්රේමලාල් ජයසේකර ට මරණ දඬුවම දුන් විට ඔහු ගැන ගත යුතු ක්රියාමාර්ග අනුගමනය කළෙමි. අදාළ ආයතන වෙතින් යුක්තිය ඉටු කර ගැනීමට උත්සහ දැරීමි.
අද අභියාචනාධිකරණ තීන්දුව අනුව, මාගේ මතය වැරදි ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 (ඡන්ද බලය අහිමිවීම) හා 91 (මන්ත්රීවරයෙකු ලෙස තෝරා පත් කර ගනු ලැබීමට නුසුදුකම්) වගන්ති ගැන මට නිසි අවබෝධයක් තිබී නැත.
‘මම වැරදි‘ බව මට සිතෙන කරුණු කිහිපයක් මෙසේය.
  1. ප්රේමලාල් ජයසේකර ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 (ඇ) වගන්තිය හා 91 වගන්තියට අනුව මන්ත්රී ධූරයක් ධූරයක් දැරීමට නුසුදුසුසෙකු වනවා පමණක් නොව, ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීමට ද සුදුසුකම් නැත්තෙකු වේ. එවැන්නෙකුට මන්ත්රී ධූරයක් දැරීම, මන්ත්රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්රකාශ කිරීමට හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නොහැකි යැයි මම සිතුවෙමි. එය වැරදි යැයි මට දැන් දැනේ.
  2. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට, 2011 නොවැම්බර් මස වසර 3 ක සිර දඬුවමක් හා රු.. 5000 ක දඬයක් නියම වූ අවස්ථාවේ දී ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහිමි කරනු ලැබීය. එවකට කථානයක චමල් රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවට සහභාගි විය නොහැකි බවට සිය තීන්දුව ප්රකාශයට පත් කරනු ලැබීය. මට දැන් සිතෙන්නේ එදා සරත් ෆොන්සේකා ගේ මන්ත්රී ධුරය අහිමි කිරීම වැරදි බව හා හිටපු කථානායකවරයා ගේ තීන්දුව වැරදි බව ය.
  3. සමාන සිද්ධියක දී, සබරගමුව හිටපු පළාත් සභා මන්ත්රී හසිත මුහන්දිරම් මහතා ට මරණ දඩුවම නියම වූ නීතිපති උපදෙස් පරිදි, ඔහු ද සබරගමුව පලාත් සභාවේ සභා මන්ත්රී ධූරයෙන් ඉවත් කළ අතර, මන්ත්රී ධූරය සම්බන්ධයෙන් හසිත මුහන්දිරම් පැවරූ නඩුවෙන් ද, ඔහු පරාජයට පත් විය. එදා නීතිපතිවරයා සබරගමුව පළාත් සභාවට දුන් උපදෙස් පමණක් නොව, අධිකරණය දුන් තීන්දුව ද නිවැරදි යැයි මම සිතා සිටියෙමි. එය ද වැරදි යැයි මට දැන් සිතේ.
  4. සියල්ල දන්නේ යැයි ද, නිවැරදිව කරන්නේ යැයි ද, කියන මැතිවරණ දෙපාර්තමේන්තුව/කොමිසම, එදා හසිත මුහන්දිරම්ගේ නම, රත්නපුර ඡන්ද හිමි නාම ලේඛණයෙන් ඉවත් කරනු ලැබීය. එය ද, වැරදි යැයි මට දැන් සිතේ.
  5. දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටින විට දකුණු පළාත් සභා මන්ත්රීවරයෙකුට ස්ත්රී දුෂණ චෝදනාවක් එල්ලවිය. ඒ සමඟම ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළේය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මම බාරගත්තෙමි. චෝදනා එල්ලවූ පසුව මන්ත්රීවරයා ඉල්ලා අස්වීම ඔහු කළ යහපත් ක්රියාවක් බව මම ප්රසිද්ධියේ පැවසුවෙමි. අද මට සිතෙන්නේ, මරණ දඬුවම් ලැබූ අයෙකුට පාර්ලිමේන්තුවට පැමිණය හැකිනම් හුදෙක් චෝදනාවක් පමණක් එල්ල වූ පළාත් සභා මන්ත්රීවරයෙකුට ඉල්ලා අස්වීමට දිරි ගැන්වීම මා කළ වරදක් බව ය.
  6. කුමන අයුරකින් හෝ මරණ දඩුවම නියමවී සිටින, ප්රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කිරීම නීති විරෝධී හා පාර්ලිමේන්තු සම්ප්රදාය විරෝධී වේ යැයි මම ප්රකාශ කර ඇත්තෙමි. එය ද වැරදි යැයි මට සිතේ.
  7. ප්රේමලාල් ජයසේකර මෙන්ම, මරණ දඬුවම් ලබා සිටින සහ අවුරුදු දෙකකට වැඩි සිර දඬුවම් ලබා සිටින සියළුම ශ්රී ලාංකිකයින් ආණ්ඩුක්රමව ව්යවස්ථාවේ 89 (ඇ) වගන්තිය හා 91 වගන්තියට අනුව මන්ත්රී ධූරයක් දැරීමට නුසුදුසුසෙකු වනවා පමණක් නොව, ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීමට ද සුදුසුකම් නැත්තෙකු ද වන බව මා සිතා සිටියෙමි. එලෙසම, සාකච්ඡා සම්මන්ත්රණවල ප්රකාශ කොට, දේශනා කොට ඇත්තෙමි. එය ද වැරදි යැයි මට සිතේ. මාගේ කරුණු විශ්වාස කළ සැමට කනගාටුව පළ කරමි.
  8. ප්රේමලාල් ජයසේකර ගේ නම මන්ත්රීවරයෙකු ලෙස ගැසට් කිරීම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය හා අනෙකුත් අය සමඟ නිත්ය නියෝජිතයා ලෙස වාද කරමින් කරුණු දැක්වීමි. එය ද, වැරදි යැයි දැන් මට සිතේ.
  9. ‘නම ගැසට් කරන නමුත්, පාර්ලිමේන්තුවට පැමිණීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා නොදෙන බැවින් ඔහුගේ මන්ත්රී ධූරය මාස 3 කින් අවසන් බව බවට, මැතිවරණ කොමිසමේ සමහර නිලධාරීන් දැක්වූ අදහස ද, මට සිහිපත් වේ. මා මෙන්ම ඒ අදහස දැරූවන් ද වැරදි ය.
  10. එපමණක් ද නොවේ, මාගේ මතයම දැරූ ජනාධිපති නීතිඥවරුන්, නීති විශාරදයින්ට ද, මට ලෙසම වැරදී ඇත. නීති අධ්යක්ෂවරුන් ට ද එසේමය.
  11. තවද, 89 හා 91 වගන්ති අනුව, දඩුවම් ලැබ සිටි අයෙකුට මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසට උපදෙස් දී ඇත්තෙමි. එම උපදෙස ද වැරදි යැයි දැන් මට සිතේ.
  12. උක්ත කරුණු නිසාම ඡන්ද හිමි නාම ලේඛනයෙන් නම ඉවත් කර ඇති, ශ්රී ලාංකිකයින්ට හා ද්විත්ව පුරවැසියන් ට ද, නැවත තම නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කිරීමේ ද, වරදක් ඇතැයි දැන් මට නම් නොසිතේ.
එබැවින්, 89 (ඡන්ද බලය අහිමිවීම) හා 91 (මන්ත්රීවරයෙකු ලෙස තෝරා පත් කර ගනු ලැබීමට නුසුදුකම්) වගන්ති පිළිබඳ මාගේ අල්ප දැනුම පිළිබඳ මම මුළු මහත් ජනතාවගෙන්, හිතවතුන්ගෙන්, මිතුරන්ගෙන්, විකල්ප අදහස් දැරූවන්ගෙන් මෙලෙස කණගාටුව ප්රකාශ කර සිටිමි.
නූගත් මගේ දැනුම නිවැරදි කර දුන් අධිකරණයට මාගේ ප්රනාමය ලබා දෙමි. රටේ නීතියේ බලය අධිකරණය අරුත් ගන්වන අයුරින්ම රැකීමට මම අද දවසේ සිට ශපත කර සිටිමි.
රටේ නීතියේ බලයට ජයවේවා!
මෙයට,
හිටපු ආණ්ඩුකාර
රජිත් කීර්ති තෙන්නකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *