Type to search

චරිත හතරක් මත තීරණය වන ‌දේශපාලන සංස්කෘතිය – කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Share

ආණ්ඩුවට අතිවිශාල බලයක් ලබා දුන් මැතිවරණයක් පසුගියදා අවසන් වුනා. ඇතැමුන් මෙයට බිය වී සිටිනවා. විශාල ජනවරමක් හිමි ආණ්ඩුවකට බිය විය යුතුද?

ආණ්ඩුවකට විශාල බලයක් හෝ ජනවරමක් ලැබීම වරදක් විදියට දකින්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක එය එසේ වෙන්නේ නැහැ. එයින් වරදක් වෙනවද කියන එක තීරණය කරන්න පුලුවන් වෙන්නේ ඔවුන් ඊට පස්සෙ ක්‍රියාත්මක වන ස්වභාවය අනුවයි. උදාහරණයක් විදියට ජපානය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වල දීර්ඝකාලීනව එක් පක්ෂයක් විශාල බලයක් අත්පත් කර ගත්තා. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඒක සැක උපදවන තත්ත්වයක්.මැලේසියාව සහ සිංගප්පූරුව තනි පක්ෂ ක්‍රමයක් යටතේ වුනත් විශාල ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත්තා. කුමන විවේචන තිබ්බත් ඔවුන් දේශපාලන ස්ථාවර භාවයකුත් අත්පත් කර ගත්තා. ලංකාවේ තියෙන ගැටලුව වෙන්නේ ලංකාව හුරු වෙලා තියෙන්නේ ප්‍රබල විපක්ෂයක් සහිතව පාලනය වෙන්නයි. මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල විපක්ෂයක් නැති තත්ත්වයකදී පවා වංචා දූෂණ අවමයි. නමුත් ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විනිවිද පෙනෙන ලෙස ක්‍රියාත්මක වීම යන දෙකටම වැඩිපුර උදව් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි විපක්ෂයක් තිබීම හෝ වෙනත් දේශපාලන නොවන සිවිල් සමාජ සංවිධාන වල හෝ ආගමික ආයතන වල මැදිහත් වීම් වගේ දේවලුයි. අපේ දේශපාලන සංස්කෘතිය එපරිද්දෙන් තමයි හැඩ ගැහිලා තියෙන්නේ.

ලංකාවේ තියෙන ගැටලුව වෙන්නේ ලංකාව හුරු වෙලා තියෙන්නේ ප්‍රබල විපක්ෂයක් සහිතව පාලනය වෙන්නයි. මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල විපක්ෂයක් නැති තත්ත්වයකදී පවා වංචා දූෂණ අවමයි. නමුත් ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විනිවිද පෙනෙන ලෙස ක්‍රියාත්මක වීම යන දෙකටම වැඩිපුර උදව් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි විපක්ෂයක් තිබීම හෝ වෙනත් දේශපාලන නොවන සිවිල් සමාජ සංවිධාන වල හෝ ආගමික ආයතන වල මැදිහත් වීම් වගේ දේවලුයි. අපේ දේශපාලන සංස්කෘතිය එපරිද්දෙන් තමයි හැඩ ගැහිලා තියෙන්නේ.

ඒ අනුව ගත්තොත් ලංකාවේ විපක්ෂය දුර්වල වීම කියන එකට අපි බිය විය නැති නමුත් අවධානයෙන් සිටිය යුතු තත්ත්වයක් ලෙසයි මම හඳුනා ගන්නේ. මීට පෙර එවැනි බලයන් ආණ්ඩු වලට හිමිවූ අවස්ථා විමසා බලද්දි එසේ සිදු කළ යුතු වෙනවා. උදාහරණයක් විදියට ජේ. ආර්. ජයවර්ධනයට 5/6 ක බලයක් ලැබුණු අවස්ථාව සහ මහින්ද රාජපක්ෂට 2010 දි තුනෙන් දෙකකට ආසන්න බලයක් ලැබීමේ අවස්ථාව පෙන්වා දෙන්න පුළුවනි. 1977 න් පස්සේ සිදුවුනු ඒ අනවශ්‍ය ස්ථාවරභාවයම දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන්න හේතු වුනා. 2010 න් පසුව එබඳු දේශපාලන අස්ථාවරභාවයකට නොගියත් ඒ ආණ්ඩුව පරාජයට පත් වුනා. ඒ වගේම ඒ කාලයේ පාලනය සම්බන්ධයෙන් විවිධ විවේචන ඒ පාර්ශ්වයන් තුළින් එළියට එනවා. ඒ අනුව මේක බිය විය යුතු නැති තත්ත්වයක් වුනත් ප්‍රවේසමෙන් සිටිය යුතු තත්ත්වයක් විදියට හඳුනගන්න පුලුවන්.

ජනප්‍රිය චරිත වලට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙද්දි දේශපාලනය තුළ සිටිය යුතු පුද්ගලයන්ව ගෙදර යවා ඇති බවට ඡන්දදායක හැසිරීම ගැන යම් විවේචනයක් සමාජයෙන් මතු වෙලා තියෙනවා.

මේ මැතිවරණය තුළ යම් පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවී, ජනප්‍රිය චරිත ඒ සඳහා තේරී පත්වීම ගැන විවේචනයක් තිබ්බත් ඒක සාධාරණ නැහැ. උදාහරණයක් විදියට හදුන්නෙත්තිව පාර්ලිමේන්තුවට නොයවා උද්ධික ප්‍රේමරත්න පාර්ලිමේන්තු ගියේ පුද්ගලයෙක් විදියට ඡන්දය නොලැබීම නිසා නෙවෙයි. ඒ අදාළ නියෝජනය නොලැබී ගියේ පක්ෂයක් විදියට ඡන්දය ලබා ගැනීමට නොහැකි වීම නිසයි. එකම පක්ෂයේ අහවලා වෙනුවට අහවලාව ජනතාව ගෙනාවේ ඇයි කියල හිතන එක නම් සාධාරණයි. මෙවර පොදුජන පෙරමුණේ නියෝජිත ලැයිස්තුව නිරීක්ෂණය කිරීමේදි පෙනී යනවා සාම්ප්‍රදායිකත්වය අභිබවමින් ඇතැමුන්ට ඡන්දය ලැබී තියෙන බව. අපි හැමතිස්සෙම අසුභවාදීව මේ දේවල් දිහා බැලිය යුතු නැහැ. මේවා මට අනුව සුභවාදියි.
පොදුජන පෙරමුණ මේ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ කොහොමද කියන එක නම් විග්‍රහ කර බැලිය යුතු තත්ත්වයක්. 2015 යහපාලන ආණ්ඩුවක් ගෙන ඒමට මුල් වුනෙත්, ඒ වගේම අද වනවිට මේ ජයග්‍රහණය සිදු කළෙත් එකම කණ්ඩායමක්. පක්ෂ වලටම බැදුණු ඡන්දදායකයෝ පිරිසක් බොහෝ විට නොසෙල්වී ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ඡන්ද දායකයෝ ප්‍රමාණය තමයි සමගි ජන බලවේගයේ නොසෙල්වී ඉන්න ඡන්ද දායක ප්‍රමාණය වෙන්නේ. ඒ වගේ ප්‍රධාන පක්ෂ වල ඉන්නවා නොසෙල්වී ඉන්න ඡන්ද දායකයෝ ප්‍රමාණයක්. නමුත් එන්න එන්නම ලංකාවේ දක්නට ලැබෙන ප්‍රවණතාවයක් වෙන්නේ විශාල පාවෙන ඡන්ද ප්‍රමාණයක් සිටීමයි. ඒ පාවෙන ඡන්ද තීරුව විසින් තමයි ජයග්‍රාහකයා සහ පරාජිතයා තෝරන්නේ. ඔවුන්ට 2015 දි මහින්ද රාජපක්ෂව පරාජය කරමින් යහපාලන ආණ්ඩුවක් ගෙන ඒමට හේතු තිබුණා.

එකල මහින්ද රාජපක්ෂ පාලනයේදී සහයෝගය දුන් අය දැන් කියනවා, ‘ඒ කාලේ කරපු සෙල්ලම් ගෝඨාභය යටතේ කරන්න අපි ඉඩ දෙන් නෑ’ කියලා. ඒ හරහා පරණ සෙල්ලමක් තිබුණු බව ඔවුන් පිළිගන්නවා. අන්න ඒ සෙල්ලමට එහෙමත් නැත්නම් වැරැද්දට ජනතාව දුන් ප්‍රතිචාරය තමයි 2015 ඡන්ද ප්‍රතිඵලය. 2015 එබඳු ප්‍රතිඵලයක් ගත්තම බලයට පැවරුණු ආණ්ඩුවට අතිවිශාල වගකීමක් පැවරෙනවා. නමුත් ඒ වෙලාවේ ඇත්තටම සිද්ද වුනේ මෛත්‍රීපාලව හෝ එක්සත් ජාතික පක්ෂයව ජයග්‍රහණය කෙරෙව්වා නෙවෙයි මහින්ද රාජපක්ෂව පරාජයට පත් කිරීමයි. ඒ පරාජය කිරීම තුළ ඊළඟ කණ්ඩායමට ඉඩ සැලසුනා මිසක් එය මෛත්‍රීපාලගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂත්වයක් නිසා ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. කොහොම වුනත් ඒ තේරීපත්වුනු ආණ්ඩුවට වගකීමක් පැවරෙනවා මහජනයාගේ අපේක්ෂාවන්ට සාධාරණයක් කරන්න. වංචා දූෂණ ප්‍රශ්නය ගත්තත්, පාලනය පිළිබඳ ප්‍රශ්නය ගත්තත්, මහජනතාවගේ අවම අපේක්ෂාවන්ට සරිලන විදියටවත් ඔවුන්ට ඒ පාලනය ගෙනියන්න නොහැකි වුනා. පාස්කු ප්‍රහාරය වෙලේ ඒ ආණ්ඩුවේ යුක්තිසහගත භාවය ගැන නූල්පොටක හරි විශ්වාසයක් තිබ්බ නම් ඒකත් ඉවර වුනා.

ඒ නිසා 2015 දි යහපාලන ආණ්ඩුව ගෙන ආ ජනතාවම වෙනත් ආණඩුවක් ගෙන ආවා කියන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒක අනිවාර්යතාවයක්. ඒ අනිවාර්යතාවය ඇතුලේ මෙවර ඡන්දය කලින් ඡන්දයේම ඉතුරු කොටස විදියට ලබා දුන් ඡන්දයක් මිසක් අලුත් තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම මෙවර ඡන්දය ලබා දුන්නේ මිනිස්සු ගෝඨාභයටයි. ඒ නිසයි සාම්ප්‍රදායික දේශපාලනඥයා ප්‍රතික්ෂේප වෙමින් වියතුන්, වෘත්තිකයන් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව ගෝඨාභයව මිනිස්සු තේරුම් ගන්නේ සාම්ප්‍රදායික දේශපාලනඥයෙක්ගෙන් බැහැර වෘත්තිකයෙක් විදියටයි. ඔහුට සමාන අය තෝරා ගැනීම තමයි ජනතාව ඒ නිසා කරලා තියෙන්නේ. මේක නරක දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙවෙයි හොඳ දෙයක් විදියටයි මම දකින්නේ.

ජනතාව මෙවර පොදු ජන පෙරමුණට බලය ලබා දෙන්නේම පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීමට ගෝඨාභය රාජපක්ෂව ශක්තිමත් කළ යුතුයි යන අරමුණ පෙරදැරි කරගෙනයි. ඒ පිරිසිදු දේශපාලන සංස්කෘතිය ගැන අපට බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් වෙයිද?

මම හිතන්නේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සම්බන්ධ ගැටලුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගතිකයන් මත කියලයි. පිරිසිදු දේශපාලන සංස්කෘතිය එකී ගතිකයන් මත තීරණය වන්නක් මිස සමාජය සම්බන්ධ කාරණයක් නෙවෙයි. මේ තීරණය ප්‍රධාන චරිත හතරක් මතයි ගොඩ නැගෙන්නේ. ඒ ප්‍රධාන චරිත හතර වෙන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කියන හතර දෙනායි. මේ හතර දෙනාගේ දේශපාලන වුවමනාවන්, දේශපාලන ඉලක්ක සහ චර්යාරටාවන් මතයි ඔබ අහපු ප්‍රශ්නයේ පිළිතුර තීරණය වෙන්නේ.

මහින්ද රාජපක්ෂ කියන්නේ රාජපක්ෂ නියෝජනයේ ආධ්‍යාත්මය. ඔහුට දේවත්වයක් වැනි දෙයක් ආරෝපණය කරලා තියෙනවා. ඒ නිසයි ඔහු කැමති කෙනාව ජනාධිපති අපේක්ෂකයා කිරීම වැනි දේ සිදු කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු අයිති වෙන්නේ අතීතයටයි. ඔහුගේ අතීතය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීමක් තමයි ඡන්දදායකයාගෙන් නිරූපණය වෙන්නේ.

දෙවනි චරිතය තමයි ගෝඨාභය රාජපක්ෂ. මම අඳුරගන්න විදියට ඔහු තමයි යහපාලනයේ නියෝජිතයා. මහින්ද රාජපක්ෂව පරාජය වෙන්න හේතු වුනු කාරණා වලින් තමයි 2015 යහපාලන රජය බලයට පත්වුනේ. එපරිද්දෙන්ම තමයි මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම පසුපසට තල්ලු විය යුතුයි, අලුත් නායකයෙක් පත් විය යුතුයි සහ ඒ අලුත් නායකයා ගෝඨාභය රාජපක්ෂ විය යුතුයි කියන මතය හැදුනේ. ඒ මතය හැදුනෙම යහපාලන අපේක්ෂාව නිසාම තමයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වීමෙන් සිද්ධ වෙන්නේ ජනතාවගේ යහපාලන අපේක්ෂාව වෙනත් තැනක නියෝජනය වීමයි.

තුන්වන චරිතය වෙන්නේ බැසිල් රාජපක්ෂයි. ඔහු තමයි මේ ක්‍රියාවලියේ දැතිරෝද කරකවන්නා වගේ ඉන්නේ. මෙතෙක් දේශපාලන යාන්ත්‍රණය තුළ පක්ෂය හැසිරීම සිදු කරන ලද්දේ ඔහු විසිනුයි. දැන් ආණ්ඩු තන්ත්‍රය හැසිරවීමත් බොහෝ විට ඔහු අතින් සිදුවන්නට ඉඩ තියෙයි කියලයි නිගමනය කරන්න පුලුවනි. යහපාලනයත් එක්ක ගැටීමක් ඇති වෙන්න ඉඩ තියෙන්නෙ එතනයි. මෙතන ඉන්නේ සාම්ප්‍රදායිකව දේශපාලනය හසුරුවන පුද්ගලයකුයි. ඔහුට යම් අවබෝධයක් තියෙනවා වෙන්න පුලුවන් ඔවුන්ගේ වැරදි නිසයි පරණ සෙල්ලම පැරදුනේ කියන එක ගැන. නමුත් ප්‍රායෝගිකව ඒ අවබෝධය එක්ක උගත් පාඩම අනුගමනය කරයි කියල හිතන්න අමාරුයි. උදාහරණයක් විදියට ඔවුන් අලුත් කණ්ඩායමකට නාමයෝජනා දුන්නෙ නැහැනේ. අලුත් අය කීප දෙනෙක් දැම්ම නමුත් වැඩිපුර දැම්මේ සාම්ප්‍රදායික අයවමයි. එනයින් බැසිල් රාජපක්ෂ තමයි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවිරෝධය නියෝජනය කරමින් ඉන්නේ.

හතරවන චරිතය වන නාමල් රාජපක්ෂ කියන්නේ අනාගත ජනාධිපතිවරයායි. රාජපක්ෂ පවුල තුළ ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවක් නැහැ. මෙවර අමාත්‍යාංශ හදලා තියෙන විදිය ගත්තත්, රාජ්‍ය අමාත්‍යධුර ලබා දුන් ආකාරය ගත්තත් ඒක පේන්න තියෙනවා. නිල් බලකාය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් විදියට හදන්න පුලුවන් විදියේ අමාත්‍යධුරයක් තමයි නාමල් රාජපක්ෂට ලබා දුන්නේ. ඉතින් මේ වෙද්දි අපේ අනාගතය විදියට ඉන්නේ නාමල් රාජපක්ෂයි.

මෙන්න මේ අනාගතය මත තමයි මේ රවුම කැරකෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. ගෝඨාභය මේ ධුර කාලයෙන් පසු නැවත ඉල්ලන්නේ නැත්නම් හෝ නැවත ඉල්ලනවා නම් අවුරුදු දහයකින් පසුව අනිවාර්යයෙන් රාජපක්ෂ පවුලෙන් නියෝජිතයා විදියට නාමල්ව ඉදිරියට ගේනවා. ඒ අනාගතය වෙනුවෙන් වන ව්‍යාපෘතිය හා බලවේගය ගොඩ නැගෙද්දි ඒක මොන වගේ එකක් වෙයිද කියන එක මත තමයි ඉදිරියේ දේශපාලන සංස්කෘතිය තීරණය වෙන්නේ.
මේ ආණ්ඩුව දිනවපු අය කියන වාක්‍යයක් තියෙනවා ‘අපි දුන්ගේ ගෝඨාභයට – පවුලේ අයට නෙවෙයි’ කියලා. ඉතින් ‘ගෝඨාභයද මේ ආණ්ඩුවේ ඇත්ත නායකයා වෙන්නේ’ කියන එක මත තමයි ඔබ ඔය අහන ප්‍රශ්නයට පිළිතුර තීරණය වෙන්නේ.

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය හා වගකීම විය යුතු යයි ඔබ සිතන්නේ කුමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදීන් සිටිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන මහජන අවධානය, උනන්දුව සහ සංවිධානය නැති වුනොත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනවා. කිසිම පාලකයෙක් ස්වභාවිකව කැමති වෙන්නේ නැහැ තමන්ගේ බලය අඩු වෙලා මහජනතාවගේ බලය වැඩි වෙලා තියෙනවට.
කියමනක් තියෙනවා ‘යුක්තිසහගත වීමට මිනිසා තුළ ඇති උනන්දුව නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සැලසෙනවා – නමුත් අයුක්තිසහගත වීමට මිනිසා තුළ තියෙන උන්නදුව නිසා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය වෙනවා’ කියලා. ඒ නිසා ඕනෑම කෙනෙක් ප්‍රජාතන්ත්‍රවිරෝධී හෝ අයුක්තිසහගත වීමට පෙළඹුමක් තියෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය බව මතක තබා ගත යුතු වෙනවා. මේ වෙද්දි ආණ්ඩුවට බලය ලබා දෙන්න ඡන්දය පාවිච්චි කළ අය ඉන්නේ යම් ආකාරයට වශීකෘත බවකිනුයි. මම ඒක කියන්නේ වැරදි අර්ථයෙන් නෙවෙයි. ඒ තරම් බලවත් මහජන අනුමැතියක් මේ වෙද්දි ආණ්ඩුවට ලැබිලා තියෙනවා. ඒ නිසාම මීට පෙර විශාල වැරදි ලෙස දුටු දේවල් මේ පාලනය යටතේ වැරදි ලෙස ජනතාව දකින්නේ නැතුව යනවා. සමාජ මත සම්පාදනය කරන්නන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ආගමික නායකයින් ඒ නිසා මහජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් මේ ජනතාව නොදකින ප්‍රශ්න ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මහජනතාව කියන්නේ දේශපාලනය හෝ ආණ්ඩුකරණය දිහා හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න පිරිසක් නෙවෙයි. ඔවුන් බොහෝ වෙලාවට පිටස්තරයන් ලෙසයි ඉන්නේ. ඒ නිසාම ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් සිදු කිරීම තමයි සිවිල් සමාජයේ සහ සමාජ මත සම්පාදනය කරන්නන්ගේ කාර්යභාරය විය යුත්තේ.

– සමබිම | කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සමග සාකච්ඡා රුවිනි අයේෂා බියගම –

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *