සංවර්ධිත රටක සහ කෙප්ප කෙළිනා මිනිසුන් සිටින රටක වෙනස – රෝද උඩ ජිවිතේ

සංවර්දිත රටක සහ කෙප්ප කෙළිනා මිනිසුන් සහිත රටක වෙනස

සංවර්දිත රටක සහ කෙප්ප කෙළිනා මිනිසුන් සහිත රටක වෙනස

මගේ ජීවිතයේ කිසි කලෙක, මා පක්ෂ දේශපාලනයේ නියැලී නොමැත. කිසි දිනෙක තඹ දොයිතුවක දේශපාලන වාසි ලබාගෙනද නැත. එනමුත් මා ශ්‍රී ලංකාවට ආදරය කරමි. ඒ ආදරය නිසාම මා මේ සටහන ලියමි. මක්නිසාද යත්, එය මා, මගේ යුතුකමක් ලෙස සලකන නිසාය. මගේ වචන ඔබේ හිත රිදවූවානම් මට සමාවෙන්න!

යෝනාස් ෆ්‍රිකර් යනු ස්විට්සර්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරූ තරුණ දේශපාලඥයෙකි. ඔහු නියෝජනය කලේ ජනප්‍රිය, පරිසර හිතකාමී සහ අනාගත දැක්ම පෙරදැරි කරගත් කොළ පක්ෂය නැතහොත් පාරිසරික පක්ෂයයි. එම පක්ෂය ඔහු තෝරාගෙන තිබුනේ අහම්බෙන් නොවන බව යමෙකුට තේරුම් යන්නේ, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් බැලූවිටයි. යෝනාස් පාරිසරික විද්‍යාව හැදෑරු විද්‍යාඥයෙකි, පක්ෂයේ සභාපතිකම සහ නොයෙකුත් අනෙකුත් සංවිධාන කිහිපයකම නිලයන් දැරූ කෙනෙකි, ඒ විතරක් නොව, ඔහු සතුන්ට විඳින්නට සිදුවන වද හිංසා පිලිබඳ විශාල ලෙස තැවුණ කෙනෙකි. ඒ සතුන්ට වෙන හිරිහැර වලකාලීමට, උන් වෙනුවෙන් කැපවී රටේ නීති සම්පාදනය කිරීමට දිවා රෑ නොබලා ක්‍රියාකළ මෘදු හදවතක් ඇති පුරුෂයෙකි.

2017 වසරේ පාර්ලිමේන්තු සැසිවාරයකදී ඔහු විසින්, සතුන් ප්‍රවාහනය කිරීමේදී උන්ට ඇතිවන වද වේදනාවලින් වලකාගැනීමට සඳහා අලුත් නීති සම්පාදනය කිරීමේ අරමුණින් ඔහු කල කතාවේ පහත සඳහන් වාක්‍ය කිහිපය ඇතුලත් කළේය.
“දින කිහිපයකට උඩදී, මා සතුන් ප්‍රවාහනය පිලිබඳ වාර්තාමය වැඩසටහන් නරඹද්දී, ඌරන් ප්‍රවාහනය කෙරෙන දර්ශනයක් නැරඹුවෙමි. ඒ දර්ශන දකින විට, මට, දෙවන ලෝක යුද්ධයේදී නාට්සි හමුදා විසින් යුදෙව්වන් ප්‍රවාහනය කල හැටි පෙන්වන ෂින්ඩ්ලර්ස් ලිස්ට් නමැති චිත්‍රපටය මතකයට ආවේ නිරායාසයෙන්මයි. ඒ ගෙනගිය සමහර යුදෙව්වන්ට තමන්ගේ ජීවිත බේරාගැනීමට සුළු අවකාශයක් හරි තිබුනා. නමුත් නෝනාවරුනි මහත්වරුනි, අර ගෙනගිය ඌරන්ට ජීවිතය ගලවාගැනීමට කිසිම අවකාශයක් නැහැ“.

ඒ කතාවේ කිසිම වැරදි චේතනාවක් නොමැති වුවත්, යුදෙව්වන්, ඌරන් සමග ගැලපීමේ හොඳ නරක ගැන අවිවාදයෙන්ම ප්‍රශ්න කලහැක. නමුත් කතාව කර විනාඩි කිහිපයකට පසු, යෝනාස් ෆ්‍රිකර් සභාවෙන්, “වැඩිය හිතා මතා නොකළ ප්‍රකාශය“ ගැන සමාව ගත්තේය. සියයට බින්දුවයි දශම හතරක යුදෙව්වන් ජනගහනයක් ඉන්නා ස්විට්සර්ලන්තයේ, යුදෙව් සමාජයෙන්ද ඔහු සමාව ඉල්ලුවේය. යුදෙව් සමාජය නියෝජනය කරන නායකයන්, යෝනාස් ෆ්‍රිකර්ගේ සමාව භාරගත්හ.

නමුත් තම පක්ෂයෙන් ඔහුට ගැලවීමක් නොලැබිණි. කතාව කර දින දෙකකට පසු යෝනාස් ෆ්‍රිකර්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණි.
ස්විට්සර්ලන්තය වැනි රටවල් දියුණුවී තිබෙන්නේ අහම්බෙන් නොව. ඒ දියුණුව ඔවුනට ලැබී තිබෙන්නේ ඒ රට පාලනය කරනා නායකයන්ගේ දැක්ම නිසාය. ඒ නායකයන් පත්කරනා සිහිබුද්ධියක් ඇති ජනතාවක් සිටින නිසාය. යුක්තිය, සාධාරණය ධර්මිෂ්ඨ කමට මුල්තැන දී කටයුතු කරනා නිසාය. ඔබ ස්විට්සර්ලන්ත වැසියන් සියයකගෙන් ජාතික ගීය කියන්න යැයි ඉල්ලාසිටියොත්, ඉන් අසූ දෙනෙකුට වඩා (දත්තයන්ට අනුව) වැඩි පිරිසකට තම ජාතික ගීය කීමට බැරිවනු ඇත. වසර විසිපහකට වැඩි කාලයක් මා ස්විට්සර්ලන්තයේ ජීවත් වුවත්, “ලෝකයේ උතුම් රට අපේය“ කියනා වදන්, මා කිසි දිනක කිසිම අයුරකින්වත් ස්විට්සර්ලන්ත වැසියෙකුගෙන් හෝ, ගුවන්විදුලියෙන් හෝ රුපවාහිනියෙන්ද අසා හෝ දැක නැත. තවද ස්විට්සර්ලන්ත වැසියෝ ආගම් කරපින්නාගෙන සැදැහැවත් කම පෙන්වන්නෝ නොවෙති. විශාල බහුතරයක් පල්ලියකට ගොඩවෙන්නේ මරණයකදී හෝ මගුලකදී පමණය. ස්විට්සර්ලන්ත ජාතික කොඩිය සෙරෙප්පුවලද මුද්‍රණය කල ඇති අවස්ථා මා එමට දැක ඇත. ඒවා ඔවුන් කිසිම ගැටලුවක් නොමැතිව මිලදීගෙන පැළඳගෙන යති. එසේ නොකරනවුන් අනෙකුන් විවේචනය කරනා බව කිසිදා අසා නැත.
නමුත් තම රටේ අනාගතය රැකීමට ඔවුන් හදවතින්ම, මුළු ශක්තියෙන්ම පෙළගැසෙන බව මම දනිමි. තම රටට කැළලක් වියහැකි සෑම දෙයක්ම මුලින් උපුටාදැමීමට ස්විට්සර්ලන්ත වැසියෝ වෙර දරති. සාමාන්‍ය වැසියෙක් එසේ නොකලත්, ඔවුන්ගේ නායකයන්, වචනයක වැරදීමක් පවා ඉතා බැරෑරුම් ලෙස සලකා බලති. යෝනාස් ෆ්‍රිකර්ගේ කතාව ඊට කදිම නිදසුනකි.
දැන් ඔබට ඔබේ රටේ අනාගතය ගැන කල්පනා කිරීමට පිළිවන. ඔබේ රටේ නායකයන්, කෙතරම් රටට ආදරය කරනා පිරිසක් වේද? රටක සංවර්ධනයට තිබිය යුතුම අංගයක් වන යුක්තිගරුක කම, නීතිගරුක කම, සංවරකම, ඔබ තෝරාගත් නායකයන් තුල තිබේද? ඔබට ඒ දෙවැනි ප්‍රශ්නයට “ඔව්“ කියා පිළිතුරුදීමට බැරිනම්, ඉදිරි වසර සියයේත් “ලෝකේ උතුම් රට අපේය” කියනා කෙප්පය, ගායනාකිරීමට සිදුවනු ඇත.


පින්තූර:
1. ස්විට්සර්ලන්තයේ බර්න් ප්‍රාන්තයේ දර්ශනයක්.
2. 2020 ජනවාරි 1දා ශ්‍රී පාදය නැගි අවස්ථාවේ ගත් චායාරූපයක්.

ලිපිය: රෝද උඩ ජිවිතේ – Life On Wheels

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *