ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ රටක් කිරීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ රටක් කිරීමේ වැඩපිළිවෙලක්
ලංකා වාණිජ මණ්ඩලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා දේශගුණික සමුළුව 2026 (Sri Lanka Climate Summit 2026) ඊයේ (09) පෙරවරුවේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයෙහි දී සංවිධාන කරන ලද මෙවර සමුළුව “අවදානමෙන් අවස්ථාවට: ශ්‍රී ලංකාවේ වර්ධන මාවතට දේශගුණික ක්‍රියාකාරකම් බද්ධ කිරීම” (From Risk to Opportunity: Mainstreaming Climate Action into Sri Lanka’s Growth Story) යන තීරණාත්මක තේමාව යටතේ පැවැත්වූණි.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ කාර්යාලයේ (UNDRR) ආසියා සහ ශාන්තිකර කලාපීය ප්‍රධානී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිතතුමිය, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) ශ්‍රී ලංකා නියෝජිතවරයා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා මෙන්ම ව්‍යපාරිකයන්, තාක්ෂණික විශේෂඥයින් රැසක් සහභාගී වූහ.
එහිදී සැසිය ආමන්ත්‍රණය කළ ගරු අමාත්‍යතුමා”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා දේශගුණික වශයෙන් සූදානම්ද?” යන සංවාදය මෙහෙයවමින්, තාක්ෂණික සූදානම සහ තිරසාර ආර්ථික වර්ධනය අතර පරතරය පියවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, මූල්‍ය ආයතන සහ කර්මාන්ත නායකයින් අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ඇති කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
මහා පරිමාණ දේශගුණික ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සමගාමීව, පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර එක්ව බිම් මට්ටමේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ චක්‍රීය ආර්ථික මුලපිරීම් ද ශක්තිමත් කරමින් සිටී. මෙම ප්‍රයත්නයන් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ බාහිර හෙවත් විධිමත් නොවන අපද්‍රව්‍ය එකතු කරන්නන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වන ජාතික සහ පළාත් මට්ටමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මහා පරිමාණ දේශගුණික සූදානමක් සඳහා ශක්තිමත් සහ සියලු දෙනා ඇතුළත් කරගත් ප්‍රාදේශීය පාරිසරික කළමනාකරණය සිදු කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, විශේෂයෙන් විධිමත් නොවන අපද්‍රව්‍ය අංශයේ සුභසාධනය, ආරක්ෂාව සහ ඔවුන් ජාතික හරිත ආර්ථිකයට බද්ධ කිරීමේ වැදගත්කම මෙහි දී සාකච්ඡා විය.
දේශගුණික බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, රජය විසින් කාර්මික අංශයේ විමෝචන අවම කිරීමේ ඉලක්කය 13% ක කැපවීමක් දක්වා දෙගුණ කිරීමට සුවිශේෂී ප්‍රතිපත්තිමය තීරණය කර ඇති බවත්, 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 70% දක්වා ළඟා කර ගැනීමේ සහ 2050 වන විට සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ (Carbon Neutrality) රටක් බවට පත්වීමේ සමස්ත පරිවර්තනයේ පදනම පරිසර අමාත්‍යවරයා විසින් මෙහිදී අනාවරණය කරන ලදී.




