ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් කොරෝනා බෝවීමේ අනතුරක් තිබේද? – BBC වාර්තාව

ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් කොරෝනා බෝවීමේ අනතුරක් තිබේද? - BBC වාර්තාව

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද කුකුල් අඬු (chicken wings) ඇතුළත් ඇසුරුම් තුළිනි.
කොරෝනාවෛරසය ආහාර ඇසුරුම් මගින් ව්‍යාප්ත විය හැකිද යන ප්‍රශ්නය එම සොයාගැනීම් සමඟ යළිත් මතුවී ඇත.

වෛරසය බෝවීමට ඇති ඉඩකඩ කුමක්ද?

න්‍යායිකව ගතහොත්, භාණ්ඩ ඇසුරුම් ද්‍රව්‍යවලින් Covid-19 වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් පැවතීමෙහි හැකියාවක් ඇත.
කොරෝනාවෛරසය දින කීපයක් නොවේනම්, පැය ගණනක් ඇතැම් ද්‍රව්‍ය ඇසුරුම් මත විනාශ නොවී පැවතිය හැකිබව විද්‍යාගාර පදනම් කරගත් පර්යේෂණ මගින් පෙන්නුම් කරනු ලැබ ඇත. වෛරසය එපරිද්දෙන් රඳා පැවැත්මෙහි වැඩි ඉඩකඩක් පවතින්නේ කාඩ්බෝඩ් සහ විවිධ ප්ලාස්ටික් ඇසුරුම් මතය.

අඩු තාපය සහිත පරිසරයක වෛරසය විනාශ නොවී පැවැත්මෙහි වැඩි ඉඩකඩක් පවතී. බොහෝ ආහාරවර්ග ප්‍රවාහනය කරනු ලබන්නේ අඩු තාප (ශීතකළ) මට්ටමක ගබඩා කරමිනි.

කෙසේවුවද, එම පර්යේෂණවලින් හෙළිවූ තත්ත්වය විද්‍යාගාරවලින් පරිබාහිරවත් බලපැවැත්වෙන්නේදැයි විද්‍යාඥයන් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත.

විද්‍යාගාරයෙන් පිටත බාහිර ලෝකයේ පරිසර තත්ත්වයන් ඉක්මණින් වෙනස්වෙන අතර, එහි තේරුම වෛරසයට දීර්ඝ කාලයක් පරිසරයෙහි පැවැත්මක් නොමැතිකම යයි ලෙස්ටර් සරසවියේ ස්වශන විද්‍යා අංශයේ සහාය මහාචාර්ය ආචාර්ය ජුලියන් ටැන්ග් (Dr Julian Tang) පවසයි.

”උදාහරණයක් හැටියට එක කිවිසුමක දී වාතයට එක්වෙන වෛරස් අංශු සංඛ්‍යාව සියයක් පමණක් බව පෙනීයන අතර, එවැනි වෛරස් අංශු සාම්පල් මිලියන දහයක් (කෝටියක්) පමණ විද්‍යාගාර අධ්‍යයන සඳහා උපයෝගී කරගෙන ඇතැයි” ඇමෙරිකා එක්සත් ජනපදයේ රුට්ගර්ස් සරසවියේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාංශයේ මහාචාර්ය එමානුවෙල් ගෝල්ඩ්මන් (Professor Emanuel Goldman) පෙන්වා දෙයි.

විද්‍යාත්මක තොරතුරු පළකෙරෙන ‘ලාන්සෙට්'( The Lancet) සඟරාවට පසුගිය ජූලි මාසයේ ලිපියක් සැපයූ මහාචාර්යවරයා මෙසේ සඳහන් කළේය.

”මගේ අදහස අනුව, වෛරසය අප්‍රාණික වස්තුවක් මතුපිට තිබී එය තවත් පුද්ගලයකුට අසාදනය වීමට ඇත්තේ ඉතා කුඩා ඉඩකඩක්. උදාහරණයක් හැටියට, වෛරසයට ගොදුරු වී සිටින තැනැත්තකුගේ කැස්සක් එහෙමත් නැත්නම් කිවිසුමක් මගින් අවකාශයට මුදා හරිනු ලබන වෛරස් අංශු යම්කිසි දෙයක් මතුපිට පතිත වූ අවස්ථාවක එය වෙනත් කෙනෙකු විසින් ඒ විගස ස්පර්ශ කළොත් පමණයි – ඒ විධියට වෛරසය අසාදනය වීමේ හැකියාවක් තිබෙන්නේ. එවැනි බලපෑමක් තිබෙන්න පුළුවන් පැයක් දෙකක පමණ කාලයක් වෙන්න පුළුවන්”

 

වෛරසය බෝවිය හැක්කේ කෙසේද?

කම්කරුවන් ආහාර ඇසුරුම් කාර්යයේ නිරතවෙමින් සිටින අවස්ථාවන්හි ඔවුන් වෛරසය තැන්පත් ද්‍රව්‍යයන්හි මතුපිට අතින් ස්පර්ශ කොට එම අත්වලින් ඔවුන්ගේ ඇස්, නාසය සහ මුඛය වැනි ස්ථාන ස්පර්ශකිරීම වෛරසය පැතිරයාමට හේතුවෙන අනතුරුදායක ක්‍රියාවක් වන බවට පොදු සිතාගැනීමක් පවතී.

එහෙත් Covid-19 ආසාදනයවීම් අතිබහුතරයට මුල්වූ ප්‍රධාන හේතුව එවැනි ක්‍රියාවන් යයි විද්‍යාඥයෝ දැන් අදහස් නොකරති.

”වෛරසය තැන්පත්වෙලා තිබෙන ද්‍රව්‍යයක් එසේත් නැත්නම් එහි මතුපිට ස්පර්ශ කිරීම මගින් පුද්ගලයකුට Covid-19 වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් තිබෙනවාවෙන්න පුළුවන්” යයි එක්සත් ජනපදයේ සෞඛ්‍ය ආයතනය වන ‘ව්‍යාධීන් පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ’ (CDC) වෙබ් අඩවියෙහි දැක්වෙයි.

එම වෙබ් අඩවියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

”එහෙත් එය වෛරසය පැතිරයාමේ ප්‍රධාන මාවත යයි අදහස් නොකෙරෙයි”

ඇත්තවශයෙන් කියතොත්, Covid-19 වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට කෙලින්ම බෝවීමට හේතුවන ප්‍රධාන කරුණු පහත දැක්වෙන අවස්ථාවන් යයි අදහස් කෙරෙයි.

  • මීටර් දෙකකට අඩු (අඩි හයකට) අඩු පරතරයක් සහිතව සමීපව සිටින දෙදෙනෙකු අතර.
  • වෛරසය ආසාදනය වී සිටින තැනැත්තකුගේ කැස්ස,කිවිසුම් හෝ කතාකරන විට පිටවෙන වෛරස් අංශු මගින්.
  • එවැනි අංශු අසල සිටින වෙනත් තැනැත්තකුගේ මුවෙහි හෝ නාසයෙහි තැන්පත්වීමෙන් (හෝ ඒවා ස්වශන පද්ධතිය ඔස්සේ පෙනහළු කරා ගමන් ගැනීමෙනි)

කිසියම් තැනැත්තෙකුට ඇසුරුම් මගින් වෛරසය ආසාදනය විනැයි තහවුරු කිරීමද දුෂ්කර කාර්යයක් වනු ඇතැයි ආචාර්ය ජුලියන් ටැන්ග් (Dr Julian Tang) පවසයි.

ආහාර ඇසුරුම්වල තැන්පත් දේවල් වෛරසය ආසාදනයට බලපාන නියත හේතුවක් හැටියට නිශ්වය කරගනු සඳහා, Covid-19 වෛරසය ආසාදනය වී ඇති නමුත් රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොකරන පුද්ගලයන් පවත්වන සමාජ සම්බන්ධතා ඇතුළුව වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් මෑතදී සිදුවූ අනාවරණයවීම් බැහැර කරනු ලැබීම අවශ්‍ය කරනු ඇත.

 

මගේ ආරක්‍ෂාව සලසාගත හැක්කේ කෙසේද?

”ආහාර හෝ ආහාර ඇසුරුම් මගින් Covid-19 වෛරසය පැතිරයන බවක් දැනට තහවුරු කරනු ලැබ නැතැයි” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත් වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ගමන් ගැනීම වැලැක්වීම සඳහා පිළිපැදිය යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැයිස්තුගත කරනු ලැබ ඇත.

ආහාර ඇසුරුම් බෙහෙත් ද්‍රව්‍ය යොදා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පවසන ලෝක සෞඛ්‍යය සංවිධානය උපදෙස් දෙන්නේ ”ආහාර ඇසුරුම් ස්පර්ශ කරනු ලැබීමෙන් පසු සහ ආහාර ගැනීමට පෙර දෑත් හොඳින් සෝදා පිරිසිදු කරගන්නා ලෙසය.

මගේ ආරක්‍ෂාව සලසාගත හැක්කේ කෙසේද?

”ඔබ වෙළෙඳසලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නේනම්,වෙළෙඳසලට පිවිසීමට පෙර හැකියාවක් ඇත්නම්,විෂබීජ නාශකයකින් දෑත් පිරිසිදුකර ගන්න. සාප්පු ගමනින් පසු,එසේම මිලදී ගත් භාණ්ඩ රැගෙන විත් අවශ්‍ය ස්ථානයන්හි තැන්පත් කිරීමෙන් අනතුරුව හොඳින් අත් සෝදාගන්න”

ඇණවුම් කරන ලද භාණ්ඩ නිවසටම ගෙනවිත් දෙන පුද්ගලයා යහපත් පෞද්ගලික හැසිරීමක් සහ ආහාර සුරක්‍ෂිතව සැපයීමේ උපදෙස් අනුව කටයුතු කරන්නේ නම්, සිල්ලර භාණ්ඩ එලෙස ගෙන්වා ගැනීම ආරක්‍ෂිත පියවරකි. එසේ සපයනු ලබන ආහාරමය හෝ වෙනත් සිල්ලර ද්‍රව්‍ය භාරගනු ලැබීමෙන් පසු අත් සෝදාගත යුතුය.

ප්ලාස්ටික් මළු එක වරකට වඩා පාවිච්චි නොකරන ලෙස ඇතැම් විශේෂඥයෝ උපදෙස් දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *