Type to search

පාර්ලිමේන්තු ගිය වියතුනි, කරනවා නම් මෙන්න වැඩ – මහාචාර්ය උදය ප්‍රියන්ත ඈපා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මහාචාර්ය උදය ප්‍රියන්ත ඈපා

මහාචාර්ය උදය ප්‍රියන්ත ඈපා

ඓතිහාසික ජනවරමක් ලබමින් නව රජයක් පත්වී ගෙවී ඇත්තේ දින කිහිපයක් පමණකි. ප්‍රජාතන්ත්‍රවාදයේ බිජුවට නවකෙතක ඉසින ලද කලෙක මෙන් දළුලමින් පැළ වෙන්නට තැත් කරන බවටත්, මින් ඉදිරියට මෙරට පවත්නා සකල ව්‍යාධීන් දූරිභූත වි සෞභාග්‍යය උදාවෙනු ඇති බවටත් පොහොට්ටුවට ස්වකීය චන්දය ප්‍රකාශ කළ මෙරට වැසියෝ බලාපොරොත්තු දල්වා සිටිති. මෙවන් තත්ත්වයක් යටතේ බලය ලබා සිටින යම් යම් අයගේ අතීතයේ කියුම් කෙරුම් මතක් කරමින් අනාගතයේ මෙසේ විය හැකියැයි පැවසීම හා මේ වනවිට මෙරට දේශපාලන බලතුලනයෙහි පවත්නා ජාතියට අහිතකර ධ්‍රැවිකරණයන් පෙන්වා දීම මැදහත් සිතින් පිළිගන්නා බහුතර ජනතාවක් මෙරට ඇති බවක් නොපෙනේ. මෑත කාලීනව පැවති මැතිවරණවලදී මෙරට සාක්ෂරතාව ඉහළ යැයි කියනු ලබන මහජනතාවගේ හැසිරීම පිළිබඳව අගනා අදහස් කිහිපයක් පසුගිය අගෝස්තු මස නමවන දින රාවය පුවත්පතේ පළ වි තිබිණි. ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු විසින් පරිවර්තනය කරන ලද වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා ඉංග්‍රීසි පුවත්පතකට ලියන ලද සාක්ෂරතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ බුද්ධිමතුන්ගේ කාර්යභාරය නමැති මෙම ලිපිය දේශපාලන කණ්ණාඩිවලින් දෙනෙත වසාගත් උගත් නූගත් සැමගේ දෙනෙත් විවර කරන්නට හේතු වන කරුණු රැසකින් යුක්තය. උක්ත ලිපිය නැවත නැවත කියවීමෙන් මෙරට ඡන්දදායකයා පිළිබදව යම් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

කෙසේ වුවද මෙවර මැතිවරණයේ කැපී පෙනෙන සාධනීය ලක්ෂණයක් වනුයේ උගත් වියතුන් පිරිසක් පාර්ලිමේන්තුවට හදුන්වා දීමයි. මෙතක් කල් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලත් වියතුන් සිදු කළ අමුතු කෙන් ගෙඩියක් නැති බවට මෙරට ජනතාව පවසන දේ අසත්‍යක් ලෙසට බැහැර කළ නොහැකිය. එසේ තිබියදීත් මෙරට චන්දදායකයා උගත්කම තම වටිනා චන්දය ප්‍රකාශ කිරිමේදී යම් මිනුමක් ලෙසට සලකා ඇත. වියත්මග නමින් හදුන්වන සංවිධානය ඉදිරිපත් කළ අපේක්ෂකයන්ගෙන් එක් අයෙක් හැර අන් සියලුදෙනාම ජයග්‍රහණය කළ බව පැවසෙයි. මෙයින් ගම්‍යවන්නේ මෙරට චන්දදායකයා පාර්ලිමේන්තු දේශපාලනය මෙරට උගතුන්ගේ සම්ප්‍රාප්තියෙන් වෙනස් මගක යනු ඇතැයි විශ්වාස කළ බව යැයි කෙනෙකුට එකවරම පෙනී යා හැකිය. නමුත් ජනාධිපතිවරයාගේ ආකර්ශනීය නායකත්වයත් විපක්ෂයේ බෙලහීන භාවයත් මත මෙවර පොහොට්ටුව ජයග්‍රහණය කරන බවට කල්තියාම කවුරුත් දැන සිටියහ. එබැවින් වියතුන් පොහොට්ටු පක්ෂයෙන් මැතිවරණය සදහා ඉදිරිපත් වූ කල ඔවුනට යම් වාසි සහගත තත්වයක් උදාවීම ප්‍රාතිහාර්යයක් නොවේ. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ මෙම පිරිස ස්වාධීනව හෝ වෙනත් පක්ෂයකින් මෙවර ඉදිරිපත් වි තම උගත්කමට සලකන ලෙසට ඉල්ලා සිටියා නම් විය හැකි දේ සිතා ගත හැකිය. අද ඇති වි ඇති මෙම තත්වය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිවරිය සමග ජවිපෙ එක්ව තරග කර ජවිපෙ ඉදිරිපත් කළ අපේක්ෂකයන් තිස් නව දෙනාම ඉහලම මනාප දිනාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සමග මනාව සැසඳෙයි.

මෙවර පාර්ලිමේන්තුවට මෙලෙස පත්වූ වියතුන් වැඩි පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන්නෝ වෙති. එපමණක් නොව ජාතික ලැයිස්තුව හරහාද උගතුන් පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට පත් වි සිටිති. අධ්‍යාපන ඇමතිවරයා ලෙසට පත්ව ඇත්තේද හිටපු විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකි. මෙම තත්වය කලක් විසදා ගත නොහැකිව පවතින අධ්‍යාපන ගැටලු පමණක් නොව අනෙකුත් වත්මන් ගැටලුද සාධනීය ලෙසට විසදා ගැනීමට ලැබුණු අගනා ප්‍රවේශයකි. මෙරට පාසැල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයන් මුහුණ දී ඇති බරපතල ගැටලු විසදා ගැනීමට මොවුනට ලබාදිය හැකි සහය ලබාගැනීමට අදාළ ක්ෂේත්‍රයන් වහ වහා කටයුතු කළ යුතුය. කොරෝනා අර්බුදයට සමගාමිව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ලොව බොහෝ රටවල සිදු වී ඇති සේම බලවත් පසුබෑමකට ලක් ව ඇත. හදිසියේ සහ බලෙන් ගුරු සිසු පිරිස මත පටවන ලද ඔන්ලයින් අධ්‍යාපනය මේ වනවිට ඉතාම අසමාන හා අවිධිමත් ආකාරයට දරුවනට දැනුම ලබාදෙන මාර්ගයක් බවට පත් ව ඇත. ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගත හැකි ඬේටා සඳහා මුදල් වියදම් කළහැකි දෙමවුපියන්ගේ දරුවන් යම් පමණක අධ්‍යාපනයක් ලබන අතර අනෙකුත් දරුවන්ට මේ හරහා ලැබෙන අධ්‍යාපනයක් නොමැත. මේ සම්බන්ධව අධ්‍යාපන බලධරයන්ගෙන් විමසුවහොත් ඉතාම සාර්ථකව මෙරට තුළ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන බවට ප්‍රතිචාරයක් ලැබෙනවා නිසැකය. එබැවින් නිසි ස්වාධීන අධ්‍යයනයකින් පමණක් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ සාර්ථකත්වය මැනිය යුතුය. හැකි ඉක්මනින් දරුවන් මේ වනවිට මුහුණ දී සිටින මානසික ගැටලු කෙරෙහිද අවධානය යොමු කර අධ්‍යාපනය නැවතත් නගා සිටවිය යුතුය. එසේ නොවුනනොත් කොරෝනා නිසා පාසැල් හා සරසවි හැර ගිය සිසු පිරිසක් මෙරටින් බිහි වනවා ඇත. එපමණක් නොව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයන්ගේ පවත්නා බරපතල ගැටලු පිළිබඳවද අවධානය යොමු විය යුතුය. ජාතික අධ්‍යාපන ආයතනය විෂය නිර්දේශ සකස් කරන්නේ පපඩම් බදින ආකාරයටය. ඔවුන් දන්නා හඳුනන අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු හදිසියේ කැඳවා විෂය නිර්දේශ ලියවා ගනිති. ගුරුවරුනට පුහුණු සැසි පැවැත්වීමට සැලසුම් කර හදිසියේ කැඳවන සම්පත් දායකයෙක් මගින් ගුරුවරු පුහුණු කරති. මේ වනවිට ඉදිරිපත් කර ඇති පෙළපොත්වල පවතින වැරදි නිවැරදි කිරීමට පමණක් දිගු කාලයක් ගතවනවා ඇත. විෂය නිර්දේශ සැකසීමේදී අධ්‍යාපන මනෝවිද්‍යාවේ හසල දැනුමක් ඇති පිරිසෙන් වැඩක් ගන්නේම නැත. විශ්වවිද්‍යාලය තුළ ප්‍රථම වසරේදී ඉගැන්විය යුතු කරුණු සාමන්‍ය පෙළ හදාරන දරුවන්ට ඉගෙන ගැන්මට සිදු වි ඇත්තේ මේ නිසාය. මොවුන් අහිමි කරන්නේ මෙරට දරුවන්ගේ ජීවිතයේ ලස්සනම කාලයයි. වයසට දරාගත නොහැකි දැනුම් සම්භාරයක් හිසේ පුරවා ගැන්මට ඔවුනට සිදුවී ඇත. කුසලතා, ආකල්ප සහ නිර්මාණශීලිත්වය පාදක විය යුතු තැන ගිරා පෝතක අධ්‍යාපන රටාවකින් වසන් කර ඇත. වියතුන්ගේ අවධානය මේ කර යොමු විය යුතු නොවේද?

වසර ගණනාවකට පෙර ග්‍රාමීය හා නාගරික පාසල්වල දරුවන් වර්ග කිරීමකට ලක් කර විශ්වවිද්‍යාල සදහා තෝරා ගන්නා ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබිණි. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නමින් හඳුන්වන මෙම ක්‍රමය ග්‍රාමීය හා නාගරික පාසල් අතර පවත්නා පහසුකම්වල පරතරය සලකා ක්‍රියාත්මක කරන ලද්දකි. දශක කිහිපයකට පසු අදද දිස්ත්‍රික් කෝටා ක්‍රමය භාවිතයෙන් සරසවි වලට සිසු දරුවන් තේරීමට සිදුව ඇත. දිස්ත්‍රික් කෝටා ක්‍රමය පවත්වා ගනිමින් පාසැල් අතර පවත්නා මෙම ඇති නැති පරතරය තව කෙතරම් කලක් පවත්වා ගෙන යන්නේ දැයි අධ්‍යාපන බලධරයන්ගෙන් විමසිය යුතුව ඇත. අධ්‍යාපනයට පහසුකම් සැපයීමත්, නව ක්‍රමවේද හදුන්වාදීමත් මෙරට සිදු වී ඇත්තේ ඉබි ගමනටද වඩා සෙමිනි. ලෝකයේ බොහෝ රටවල් සමග සසඳන විට කුඩා රටක් වන ශ්‍රි ලංකාවේ පාසැල් සිසු සංඛ්‍යාව මිලියන 4.2ක් පමණ වන අතර පාසැල් සංඛ්‍යාව දස දහස ඉක්මවයි. ලක්ෂ දෙකහමාරක් පමණ වන ගුරුවරුන්ගේ ස්ථාන මාරු, විදුහල්පතිවරුන් පත්කිරීම් ආදිය අවුල් ජාලා බවට පත්ව ඇත. අදද වැසිකිළි පහසුකම් හා පානීය ජලය පවා නොමැති පාසැල් මෙරට පවතී. පසුගිය කාලයේ තනතුරු හෙබවූ මෙරට අධ්‍යාපන කෙරුමන්ගේ කියුම් පමණට කෙරුම් නොමැති බවට මෙම සාක්ෂි ප්‍රමාණවත්ය. වියතුන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රබලයන් පාර්ලිමේන්තුවට පත් කර එවූ ජනතාව මේ තත්ත්වයන්ට විසදුම් හෙටවත් ලැබේවියැයි බලාපොරොත්තු වෙති.
විෂය නිර්දේශ ආවරණය කිරීම අද පාසැල් ගුරුවරයාගේ නොව ටියුෂන් ගුරුවරයාගේ වගකීමකි.

ලංකාවේ ටියුෂන් සම්බන්ධව නිසි සංඛ්‍යාලේඛන නොමැත. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ගම්බද දරුවන් 21% ටියුෂන් ලබා ගන්නා අතර නාගරික දරුවන් 39% ටියුෂන් ලබාගනිති. මහාරාස්ට්‍රයේ එය 29%ක් හා 72%කි. ශ්‍රි ලංකාවේද මෙම ග්‍රාමීය හා නාගරික බෙදීම මෙලෙසම හෝ ඊට ආසන්නව පවතිනවා ඇත. කෙසේ වූවද ආර්ථික අතින් සවිමත් පවුල් පසුබිමක් ඇති දරුවන් මෙම අධ්‍යාපන ක්‍රමයෙන් වැඩි වාසියක් අත් කර ගන්නා බව පැහැදිලිය. නිදහස් අධ්‍යාපනය මෙරටට හදුන්වා දුන් කන්නන්ගර ශ්‍රීමතාණන් බලාපොරොත්තු වුයේ මෙය නම් නොවේ. අඩු ආදායම් ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට ඉතා තරගකාරී විභාග රටාව තුල අවාසි තත්වයක් උද්ගතව ඇත. කන්නන්ගර මහතාට එදා විරුද්ධවූ ජයවර්ධන පරපුරේ ඇත්තන් හා එම සමාජ පන්ති නියෝජනය කරන්නන් අදද එදා මෙන්ම බලවත්ය. මෙහිදී මතක් කළ යුත්තේ විදේශ රටක අධ්‍යාපනය ලැබීම කෙසේ වෙතත් මෙරට දී මුදලක් ගෙවා හෝ උසස් අධ්‍යාපන පහසුකම් ලබාගන්නට මෙම අඩු අදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට අවස්ථාවක් නොලැබෙන බවය.

ඉතාම අවාසනාවන්ත තත්ත්වය වන්නේ මේ වනවිට රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණය විසින් ටියුෂන් කර්මාන්තය සහ එහි ගුරුවරුන් සඳහා නොමිලේ ප්‍රචාරය ලබාදීමයි. විශ්වවිiාල මහාචාර්යවරු ටියුෂන් ඇදුරන් සමඟ එකට සිට ගෙන සීතම්බර පටය පැළඳ රාජ්‍ය මාධ්‍ය හරහා මෙරට දරුවන්ට පාඩම් කියා දෙති. මෙම මහාචාර්යවරුම උසස් පෙළ ප්‍රශ්න පත්‍රද සකස් කරති. මෙය සදාචාරාත්මකද ? ලැජ්ජාවක් නැති කමද ?

පාර්ලිමේන්තුවට පත් වූ වියතුන්ට කරන්නේ නම් කරන්නට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පමණක් දහසකුත් දේ ඇත. සෑම වසරකම විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරන සිසුන්ගේ සංඛ්‍යාව ඉහල නැංවීමට රජය කටයුතු කරනමුත් එයට සාපේක්ෂව අනෙකුත් පහසුකම් වැඩිකිරීමට දෙන්නේ අඩු අවධානයකි. ක්ෂේත්‍ර අධ්‍යයන සහ අනෙකුත් නිර්මාණශීලි අධ්‍යයන කටයුතු සදහා ලබාදෙන මුදලද කප්පාදු කරමින් පවතියි. පර්යේෂණාගාර අමතර කාලයක් සදහා යොදා ගැනීමට අතිකාල දීමනා හරස් වෙයි. මේවාට විසදුම් අවශ්‍යය. ජාතික නිෂ්පාදනයට ඍජු ශ්‍රම දායකත්වයක් ලබානොදෙන යම් යම් යල්පැන ගිය පාඨමාලා සදහා ඇති දැවැන්ත සිසු සංඛ්‍යාවක් බදවා ගනිති. අවසානයේ මොවුහු රැකියා විරහිත උපාධිධාරීන් බවට පත් වි රටට බරක් වෙති. විශ්විද්‍යාල පාඨමාලා විසිඑක් වන සියවසට සහ මෙරට ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට වහාම සකස් වියයුතුය. බෝතලයක් තුළ දමා වසා සිරකර ඇති මෙරට උසස් අධ්‍යාපනයෙන් ඵල ලැබීමට නම් උසස් පෙළ නම් බෝතල් කටින් එලියට පැනගත යුතුය. සරසවි අධ්‍යාපනයට පිවිසීමේ එකම මාර්ගය උසස් පෙළ පමණක් වීම නිසා විවිධ ක්ෂේත්‍ර තුල දක්ෂතා දක්වන, උපාධියක් හැදෑරීමට බුද්ධි මට්ටමක් හා කුසලතාවයක් ඇති විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාව නොලැබෙයි. මේ පිළිබදවද අවධානය යොමු විය යුතුය. එමෙන්ම බාහිර උපාධි ලබාදීමේ ක්‍රමවේදය මෙන්ම විෂය නිර්දේශද, ඉගැන්වීම් රටාවද වහා වෙනස් කළ යුතුව ඇත.

විශ්වවිද්‍යාල තුළ කෙරෙන පත්වීම් සදහා ඉතාම පහත් මට්ටමේ දේශපාලන බලපෑම් සිදුවෙයි. විශ්වවිද්‍යාලවල ඉහළ තනතුරුවලට පත්විය යුත්තේ ශාස්ත්‍රීය දැනුමෙන් පරිපූර්ණවුවන් මිස දේශපාලන බත් බැලයන් නොවේ. මෙනයින් බලන කල මෙවර පාර්ලිමේන්තුවට පත් වූ වියතුන්හට අනෙකුත් ක්ෂේත්‍ර කෙසේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය තුලම කල හැකි දේ බොහෝ ඇති බව පැහැදිලිය. මෙම වියතුන්ගේ දේශපාලන කාර්යශුරත්වය හා සාර්ථක භාවය ඉදිරියේ මෙරට යහපත් දේශපාලන රටාවක් බලාපොරොත්තු වන ජනතාවට යම් අස්වැසිල්ලක් ලඟාකර දෙනවා ඇත. එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට උන කාරියා, හතක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා යැයි මෙරට ජනතාවට පැවසීමට නම් ඉඩ නොතැබිය යුතුමය.

-උපුටා ගැනීම:රාවය-

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *