අධිකරණ ඇමතිතුමාට ඇමතුමක්

අධිකරණ ඇමති අලි සබ්රි - ali sabry

අධිකරණ ඇමති අලි සබ්රි - ali sabry

ඔබතුමා මවිසින් අඳුනා ගත්තේ 2014 – 07 – 27 දින ලංකාදීප පත්‍රයේ තක්සලාව අතිරේකයේ 5 පිටුවෙන්. “මගේ සිංහල ගුරුතුමී” නමින් පලවූ ඔබේ ලිපිය කියවූ සියලු පාඨකයන් අලි සබ්රි නමැති විශිෂ්ඨ පුද්ගලයා කවුරුන්ද යන්න පැහැදිලිව වටහා ගන්නට ඇත. එම ලිපියේ කථා නායිකාව අබේරත්න ගුරුතුමිය, ඔබට ඔබේ “මවට පමණක් දෙවන කාන්තාව” ලෙස සඳහන් වැකිය අපේ හද නිතැතින්ම සසල කල බව ඔබ නොදන්නවා ඇති.

අබේරත්න ගුරුතුමියගේ උතුම් බව ලිපිය පුරා ඔබ ව්‍යක්ත ලෙසින් හසුරුවද්දී අලි සබ්රි නමැති මානව හිතවාදියාගේ අති විශාල ඡායාව කියවන්නා තුල ජනිතවන්නේ නිතැතිනි.
ලිපිය කියවා හමාර වන විට විශිෂ්ඨ පුද්ගලයන් දෙදෙනෙකු ගැන පාඨකයා අවබෝද කරගෙන හමාරය. එම ලිපියේ රචකයා අද ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණ ඇමතිවරයාය.

ඔබතුමාගේ දේශපාලන ආගමනය අප දකින්නේ අහම්බයෙන් දේශපාලනයට ආ ලක්ෂ්මන් කදිරගාමර් නමැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ ප්‍රවිශ්ඨයට පසුව මෑතකදී දේශපාලනයට එන දෙවන වටිනාම පුද්ගලයා වශයෙනි. ඔබ දෙවනි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාට පමණකියි මට සිතේ. ඒ මතය ප්‍රකාශ කිරීමට කල් වේලාව වැඩි යැයි වැඩිදෙනා කියනු ඇත. සුරේන් රාගවන් මැතිතුමාගේ නම ද ඉතිහාසයට යම් දිනක එකතුවන වැඩ කොටසක් කරනු ඇතැයි බලාපොරොත්තුවක් මධ්‍යස්ථ මහජනතාව තුල පවතී.

කෙසේ වුවද සියලු නායකයන්ට වඩා බලවත් අභියෝගයන් ඔබ ඉදිරියේ ඇති බව අපට පෙනේ. අප දකින අලි සබ්රි නමැති නිර්ව්‍යාජ නායකයා මුස්ලිම් වර්ගවාදියෙක් කිරීමට, මුස්ලිම් අන්තවාදියෙක් කිරීමට, මුස්ලිම් ජනතාවගේ නියෝජිතයෙක් බවට ලගු කිරීමට,
නැතහොත් යටි අරමුණු සහිත කුමන්ත්‍රණ කරුවකු කිරීමට බොහෝ මුස්ලිම් හා සිංහල සමාජ කණ්ඩායම් නොයෙකුත් උත්සහයන් දරමින් සිටී. ඔබගේ ගුණ වයමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට බැන වදිමින් හැසිරෙන්නා වූ සමාජ මාධ්‍ය කාරයන්ද අපට දක්නට ලැබේ. මෙම අන්ත දෙකෙන්ම ඔබ ආරක්ෂා විය යුතුය. අල් ජසීරාවට ඔබ දුන් සම්මුඛ සාකච්ඡාවට වැරදි අර්ථ නිරූපන සැපයීමට බොහෝ ප්‍රවීනයන් යැයි කියා ගන්නා අය උත්සහ කල බව රටම දනී.

වරෙක මාධ්‍ය කරුවකු ඔබ සමග කරන සම්මුඛ සාකච්ඡාවකදී ඔබ මුස්ලිම් ජාතිකයෙතු බැවින් ජාතික ලැයිස්තුවෙන් නොපැමිණ, ඡංදයට ඉදිරිපත්වී ඔබේ ජාතියෙන් වරම නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරණු දක්නට ලැබින. ඔබ ශ්‍රී ලාංකික මහජනතාව නියෝජනය කරන බුද්ධිමතුන් කණ්ඩායමේ අයෙකුවීම ඔහුට වැදගත් නැත. ඔහු දකින්නේ ඔබේ නම සහ ඒ සමග එන ආගම පමණි. ඔබගේ අධ්‍යාපනය වෙනත් සමාජ වටිනාකම් අවැසි නැත.

එම අභියෝග ඔබ විසින් හරියාකාරව කලමණාකරනය කර ගත යුතුය. විවිධ මතධාරීන්ගේ නොමනා විවේචන නිසාවෙන් ඔබේ මධ්‍යස්ථ භාවය බිඳවැටේදැයි අපට සැක සිතේ. මීට පෙර ඉහල සමාජ ගෞරවයක් හිමිකරගත් පවුසි වැනි මුස්ලිම් නායකයින් පසුව තම වටිනාකම් බිඳගත් ආකාරය අපේ මතකයේ පවතී. අපගේ ගෞරවය දිනූ ඉමිටියාස් බකීර් මාකර් මහතාව අද ඇදගෙන යන්නේද එවන් දිසාවකට බව අපට පැහැදිළිය.

පටු ඒදන්ඩක් වැනි සමාජයක ගමන් කරන ඔබ කොයි මොහොතේ කුමන දිසාවකට ඇද වටේදැයි පැහැදිලි නැත. ඒ තරමටම ඔබ ඉදිරියේ භාදක පවතී. ඔබට ඇති ලොකුම භාදකය වන්නේ මුස්ලිම් සමාජයයි. සිංහල සමාජය ඔබ වැළඳ ගන්නා තරමටම වඩා වැඩියෙන් “අපේ එකා” ලෙස ඔබකරා ලඟාවීමට ඔවුන් දරන උත්සහය ඔබගේ වගේම රටේද යහපත පිණිස නොවේ.

උපතින් ද්‍රවිඩ නමක් සහිත ලක්ෂ්මන් කදිරගාමර් මහතා මේ රටේ සියලු වැසියන්ට තමන්ගේම අයෙක් විය. එනිසාම චන්ද්‍රිකා මැතිණියගේ අවසන් කාලයේ අගමැති තනතුර සඳහා ද ලක්ෂ්මන් කදිරගාමර් නාමයද කියවුණු බව අපගේ මතකයේ තාමත් රැඳී තිබේ. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් ලක්ෂ්මන් කදිරගාමර් මරා නොදැම්මේ නම් “සිංහල ජාතිකයෙකුට හැර වෙනත් ජාතිකයෙකුට අගමැති විය නොහැක” යන පුහු මතය බිඳ දැමීමේ අවස්ථාව උදාවන්නට ඉඩ තිබුණි. මුරලිදරන් සියලු ලක්වාසීන්ගේ වීරයෙකි. ඔහුගේ ජාතිය ප්‍රශ්ණ කරන අය ගර්හාවට ලක්වේ.

සිංහල බහුතරය කිසිවිටක අන්තවාදීනොවේ. සුදුස්සාට සුදුසු තැන ලබනු දැකීම සිංහල බෞද්ධ බහුතරයේ අපේක්ෂාවයි. ඒ වෙන කිසිවක් නිසා නොව බෞද්ධකමේ හැදියාවයි. සිංහලයෙකු ලෙස අභිමානයෙන් ඒ බව ඔබට පවසනු කැමැත්තෙමි. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාට නැති කල අවස්ථාව උදාකර ගැනීමේ ශක්තිය ඔබට ඇත. එය කල හැකි වන්නේ ඔබේ ගමන් මගට ඇති වැට කඩොලු හරියාකාරව ඇඳින ගැනීමෙන් හා නිසි කල, නිසි පියවර ගැනිමෙන් පමණි. අබේරත්න ගුරුතුමියගෙන් මූලික දැනුම ලැබූ ඔබට, ඔබේ සහජ හැකියාවත් තීක්ෂණ බුද්ධියත් මෙහෙයවා කුමන භාදක පැමිණියත් ඒවා මැඩ පවත්වා ගෙන විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකික සමාජය වෙත කලහැකි බවට අප විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් බහුතර ජන සහය හිමිවනු ඇත.

නිශ්ශංක එම්. කැප්පෙටිපොල
2020-08-19

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *