හිජාස්ට එරෙහිව තවමත් කිසිඳු සාක්ෂියක් නැති බව හිජාස්ගේ නීතිඥවරයා පවසයි…

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්ෆාස් මොහොමඩ් හට එම සිද්ධියට අදාළව ආධාර අනුබල දීම යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් නමුත් ඊට අදාළව කිසිඳු සාක්ෂියක් රහස් පොලීසිය විසින් මේ මොහොත වන තෙක් සොයා ගෙන නැති බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කර සිටියේ ය.

ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, එම බෝම්බකරු සහ නීතිඥ හිජාස් මහතා අතර කිසිඳු සබඳතාවයක් නොමැති බවත්, ඔවුන් දෙදෙනා අතර පැවැති එකම සම්බන්ධය අදාළ පුද්ගලයාගේ සිවිල් නඩු දෙකක නීතිඥයා ලෙස හිජාස් හිස්බුල්ලා මහතා කටයුතු කර ඇති බවත්, එම නඩු දෙක ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඔහුට භාර දුන් බවත් ය.

මේ වන විට නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි රඳවා ගෙන සිටියි.

පොලීසියේ සැරයන්වරයෙකු පුත්තලම මදුරංකලිය මද්‍රසා පාසලක තිබී දෙමළ බසින් ඇති පොත් 19ක් අත්අඩංගුවට ගත් බවත්, එයින් පොත් තුනක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කර ඇති බවත් පැවසීය. මෙම පොත් කියවීමෙන් හෝ ඉගෙනීමෙන් ළමා මනස ප්‍රචණ්ඩ වන්නේද යන්න පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම සඳහා එම පොත් තුන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ මඟින් ළමා මනෝවෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර නියෝගයක් නිකුත් කරන මෙන් රහස් පොලීසිය ඉල්ලා සිටියේ ය.

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්ෆාස් මොහොමඩ්ගේ නිවසෙන් සොයා ගත් ලැප්ටොප් පරිගණකය සහ ඩීවීඩී යන්ත්‍රයක් රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද රහස් පොලීසියේ සැරයන්වරයා ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම් දෙකට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන් අතර මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව අධ්‍යයනය කර ජූලි පළමු වැනිදා සිය තීන්දුව ලබා දෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *