​සංවර්ධන නිලධාරීන්ගේ වර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි – මන්ත්‍රී චන්දන සූරියආරච්චි!

0

සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබාදෙමින් පවතින මොහොතක, පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජය අපහසුතාවට පත්කරන සහ ව්‍යාජ ලෙස පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ බව කියන වෘත්තීය ක්‍රියාමාර්ගය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි.

ඇතැම් පාර්ශ්ව මෙය දැවැන්ත වැඩවර්ජනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළත්, රාජ්‍ය සේවයේ කිසිදු වැඩවර්ජන තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්, සිදු වූයේ සාමාන්‍ය පරිදි සිදුවන දෛනික නිවාඩු ලබාගැනීම්වලට සමාන අයුරින් නිලධාරීන් කිහිපදෙනකු අසනීප නිවාඩු වාර්තා කිරීමක් පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

අතීතයේදී සාධාරණ වෘත්තීය සටන් පාවා දෙමින්, සාමාජිකයන් බියවද්දමින් කටයුතු කළ පාර්ශ්ව කිහිපයක් මෙවර විරෝධතා පිටුපස සිටින බව චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙය නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ දුෂ්ට දේශපාලන අරමුණකින් සිදුකරන්නක් බවද සඳහන් කළා.

රජයේ නිල පත්වීම් ලිපියක් පවා නොමැති තනතුරු නාම භාවිත කරමින්, ව්‍යාජ වෘත්තීය සමිති අටවාගෙන සාමාජික මුදල් එකතු කිරීම සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කරමින් රාජ්‍ය වරප්‍රසාද අවභාවිත කරන පිරිස් හඳුනාගෙන ඇති බවත්, එම බරපතළ නීතිවිරෝධී තත්ත්වයන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *