ශ්රී ලංකාවෙන් දිනකට අලුත් පියයුරු පිළිකා රෝගීන් 15ක් සහ මරණ 3ක් වාර්තා වේ!
ශ්රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ හඳුනා ගන්නා බවත්, දිනකට සාමාන්යයෙන් අලුතින් රෝගීන් 15 දෙනෙකු සහ මරණ තුනක් පමණ වාර්තා වන බවත් කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්ය වෛද්ය කාංචනා විජේසිංහ මහත්මිය ප්රකාශ කළාය.
අද (30) දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ අතර, එහිදී පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ වැදගත්කම සහ රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.
පියයුරු පිළිකා සඳහා වන ප්රධාන වෙනස් කළ නොහැකි අවදානම් සාධක දෙක වන්නේ කාන්තාවක් වීම සහ වයසට යෑම බව වෛද්ය විජේසිංහ මහත්මිය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, තරබාරුකම, ශාරීරික අක්රියතාව, දුම්පානය සහ හානිකර රසායනික ද්රව්ය සහිත ආහාර භාවිතය ඇතුළු වෙනස් කළ හැකි සාධක ද පිළිකා වැළඳීමේ අවදානම වැඩි කිරීමට හේතු විය හැකි බව ඇය පැහැදිලි කළාය.
මෙම අවදානම් සාධක සමාජය තුළ වැඩි වැඩියෙන් ව්යාප්ත වන බව ඇය නිරීක්ෂණය කළාය.
පියයුරු පිළිකාවල ප්රධාන රෝග ලක්ෂණ වන්නේ:
• පියයුරේ ගැටිත්තක් ඇතිවීම (කෙසේ වෙතත් පියයුරු ගැටිතිවලින් 99%ක් පමණ පිළිකා නොවේ).
• කිහිල්ල ප්රදේශයේ ගැටිති ඇතිවීම.
• පියයුරේ ප්රමාණයේ වෙනස්වීම්.
• ඉදිමීම හෝ සම ඇතුළට ඇදීයාම ඇතුළු සමේ සිදුවන වෙනස්කම්.
• තනපුඩුවෙන් ලේ සහිත ශ්රාවයක් පිටවීම.
මේ අතර, කොළඹ උතුර ශික්ෂණ රෝහලේ ශල්ය වෛද්ය නලින්ද මුණසිංහ මහතා සඳහන් කළේ ශ්රී ලංකාවේ කාන්තාවන් අතර පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණද, සමාජගත මිථ්යා මත සහ බිය නිසා බොහෝ දෙනෙක් වෛද්ය ප්රතිකාර ලබා ගැනීමට මැලි වන බවයි.
”සමාජයේ පවතින බිය සහ මිථ්යා මත නිසා ජනතාව ප්රතිකාර ලබා ගැනීමට මැලි වෙනවා. සමහර අය කොණ්ඩය යෑම, සැත්කමකින් පියයුරක් අහිමි වීම හෝ තම ස්ත්රීත්වය අහිමි වේ යැයි බිය වෙනවා. තවත් සමහරු හිතනවා මෙම රෝගය නැවත නැවතත් එනවා කියලා. තවත් සමහරු තහවුරු නොකළ පරීක්ෂණ ක්රමවලට යොමු වෙනවා. මෙහි ප්රතිඵලයක් ලෙස, ඇතැම් කාන්තාවන් රෝගය මුළු ශරීරය පුරාම පැතිර යන තෙක් වෛද්ය ප්රතිකාර ලබා ගැනීම ප්රමාද කරනවා,” යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත්, රෝගය කලින් හඳුනාගෙන වෛද්ය අධීක්ෂණය යටතේ කඩිනමින් ප්රතිකාර කිරීමෙන් පියයුරු පිළිකා සාර්ථකව පාලනය කළ හැකි බව වෛද්ය විශේෂඥයෝ අවධාරණය කරති.
