“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

0
“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස ඔවුන්ට මේ රටේ පුර්ණ අයිතිය සහ හොඳ ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවත්, සියවස් ගණනාවක් ඔවුන් ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට හිමිකර දීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

එළඹෙන අයවැයෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමග ගිවිසුම්වලට එළඹිමේදී මෛලයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වු වගන්ති එම ගිවිසුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අපේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය, මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීමද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වගකීම් දරන සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය ඒකාබද්ධ කර, සියලු බලය සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අදාළ පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය.

වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ මෙම පවුල් සඳහා ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක් සහ අභිමානවත් ජීවිතයක් උරුම කර දීමේ අරමුණින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කර තිබේ.

පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අතර නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම එක් නිවසක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 32කට ආසන්න වේ.

එසේම, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමටද කටයුතු කර ඇත.

ප්‍රතිලාභීන් 10දෙනෙකු වෙත සංකේතාත්මකව නිවාසවල යතුරු භාරදීම සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ අතර ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී පස් කපා බිම් සකස් කිරීමේ සිට නිවාසවල අත්තිවාරම් දැමීම, නිවාස සවිමත් ලෙස ඉදිකිරීම් කටයුතු නිම කිරීම දක්වා වූ සෑම අදියරකදීම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය දක්වන ලද සක්‍රීය හා ප්‍රශංසනීය දායකත්වය අගයමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත සංකේතාත්මක තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නිවාස ප්‍රතිලාභී පවුල්වල උපහාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් සමරු තිළිණ පිළිගැන්වීමද සිදු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com