ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා සිය ධුරයේ කටයුතු ඇරඹීමට මෙරටට පැමිණෙයි
නව අමෙරිකානු තානාපති එරික් මේයර් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම්කර ඇති එරික් මයර් (Eric Meyer) මහතා මෙරටට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ 29 වන එක්සත් ජනපද තානාපතිවරයා ලෙස ඒ මහතා රාජකාරී ආරම්භ කරනු ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකි.
එරික් මයර් මහතා කොළඹට පැමිණ සිය එක්සත් ජනපද තානාපති කාර්යාලීය කණ්ඩායම හමුවී, සිය ප්‍රමුඛතා පිළිබඳව ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් කටයුතු ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ප්‍රතිඵල අත්කර දීම ඔහුගේ ප්‍රමුඛතා අතර වේ.
පසුගියදා වොෂිංටන් ඩී.සී. හිදී නිල වශයෙන් දිවුරුම් දුන් ඔහු, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.




