හිටපු අටමස්ථානාධිපතිට එරෙහි දැරියගේ ප්‍රකාශය DNA වාර්තාවෙන් තහවුරු වෙයි: රස පරීක්ෂක වාර්තාව නීතිපතිට
පාපිස්සේ තිබූ ශුක්‍රාණු පල්ලේගමගේ DNA සමඟ ගැළපෙයි
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට හා දූෂණයකට ලක්කළ බවට චෝදනා ලබා සිටින හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි වාර්තා වී තිබේ.
උන්වහන්සේගේ විහාරස්ථානයෙන් සොයාගෙන රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල පල්ලේගම හිමියන්ගේ ඩී.එන්.ඒ. (DNA) සමග සෘජුවම ගැළපෙන බව තහවුරු වී ඇති බවයි.
අදාළ දැරිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පල්ලේගම හිමියන්ගේ ශුක්‍රාණු මෙම පාපිස්ස මත තැවරූ බවයි.
මෙම නව ඩී.එන්.ඒ. වාර්තාව මඟින් එම ප්‍රකාශය තහවුරු වන සාක්ෂියක් ලැබී තිබෙන අතර, දැරියගේ යට ඇඳුම් ඇතුළු වළදමා තිබූ ඇඳුම් කොටස්වලින් ලබාගත් මුල් වාර්තාවල බාහිර පාර්ශ්වයක ඩී.එන්.ඒ. ඇලීල හමුවී නොතිබූ පසුබිමක, මෙම දෙවන වාර්තාවෙන් මෙම සාක්ෂිය අනාවරණය වී තිබීම විශේෂත්වයක්.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය පවසා සිටියේ මෙම රස පරීක්ෂක වාර්තා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
මීට අමතරව, සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (CDs) සහ ඇය ලබාදුන් වීඩියෝ සාක්ෂිද අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
අධිකරණ පරිශ්‍රයේදී සැකකාර හිමියන් සාමාන්‍ය පරීක්ෂාවන් මගහරිමින්, විනිසුරුවරුන් සඳහා වෙන්වූ විශේෂ දොරටුවෙන් ඇතුළු වීම පිළිබඳව පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥ චානක අබේවික්‍රම මහතා අධිකරණයේදී දැඩි විරෝධය පළ කළා.
නීතිය හමුවේ සෑම අයෙකුම සමාන බව පෙන්වා දෙමින් කළ ඉල්ලීම සලකා බලමින්, ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා එම සිදුවීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් දෙන ලෙස අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කලේය.
එසේම, දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනයට ලක් නොවූ දුරකථන අංක තුනක් පිළිබඳව සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියම කලේය.
මෙම අංක පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ දැරියගේ මිත්තණිය සහ මාමා විසින්.
පාසල් නිවාඩුව අවසන් වූ පසු මිත්තණියගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
අධිකරණයේ අවසරය මත පරිවාස භාරයේ සිටින තම බාල සොහොයුරියට වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට දැරියට අවස්ථාව හිමිවූ අතර, ඇයව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට පොලීසිය කළ ඉල්ලීමටද අවධානය යොමු විය.
එමෙන්ම රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා සිතාසි නිකුත් කෙරුණි.
දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) යටතේ බරපතළ ලිංගික අපයෝජනය සහ 364 (2) (ඉ) යටතේ ස්ත්‍රී දූෂණය යන චෝදනා යටතේ හේමරතන හිමියන්ට එරෙහිවද, 2006 අංක 16 දරණ පනතේ 360 (ඇ) (1) (අ) යටතේ මිනිස් වෙළෙඳාම සහ අපරාධයට ආධාර අනුබල දීම යටතේ දැරියගේ මවට එරෙහිවද කරුණු වාර්තා කර තිබේ.
දැනට තදබල ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනමක් මත සිටින පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් 20 කට වැඩි පිරිසක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කරුණු දැක්වූවා.
නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි 08 වනදා දක්වා කල් තබනු ලැබිය.




