සුරේෂ් සලේ රක්ෂිත බන්ධනාගාරගත කරන්න: හෘද රෝගී තත්ත්වය පෙන්වා දෙමින් බිරිඳගෙන් ජනාධිපතිට හදිසි නීතිමය හා මානුෂීය ඉල්ලීමක්
සලේව රිමාන්ඩ් කරන්න – බිරිඳගෙන් ජනපතිට ලිපියක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රඳවා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකර, ඔහුව අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හදිසි ආයාචනා ලිපියක් යොමුකර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත නිලධාරීන් භාරයේ පසුවන තම ස්වාමිපුරුෂයා බරපතළ හෘද රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ඔහු මුහුණ දී සිටින දැඩි ජීවිත අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා ලෙසත් ඉකුත් සිකුරාදා (21) යොමු කළ ලිපියෙන් ඇය ඉල්ලා සිටියා.
දීර්ඝ ලෙස සිරකර තැබීමට සහ පනවා තිබූ කොන්දේසිවලට එරෙහිව සුරේෂ් සලේ මහතා ආරම්භ කළ උපවාසයත් සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූ අතර, ඒ හේතුවෙන් 2026 ජූනි 07 වනදා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
පසුව හෘද ස්පන්දනයේ ඇති වූ අසාමාන්‍යතා මත ජූනි 27 වනදා ඔහුව එම රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර යවා විශේෂඥ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවත්, හෘදයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පහත වැටීම හේතුවෙන් ඔහුට හදිසි හෘද සැත්කමක් සිදුකර ඇති අතර, ජීවිතයට තර්ජනයක් විය හැකි හෘද ස්පන්දන අක්‍රමිකතා පාලනය කිරීම සඳහා හදවතට ICD (Implantable Cardioverter Defibrillator) උපකරණයක්ද බද්ධ කර ඇති බවත් එම ලිපියේ දැක්වෙ.
මේ වන විට පවතින රඳවා ගැනීමේ කාලය නිමා වූ පසු එය නැවත දීර්ඝ නොකරන ලෙසත්, ඔහුව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් නොකර අධිකරණ බලයක් සහිතව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
හදවතට ICD උපකරණයක් සවිකර ඇති බැවින් ඔහුට අවශ්‍ය විශේෂිත වෛද්‍ය අධීක්ෂණය සහ පශ්චාත් ශල්‍යකර්ම ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට පහසුකම් සලසන ලෙසත්, ජාතික රෝහලේ වෛද්‍ය භාරයෙන් ඉවත් කර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට භාරදීමෙන් ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි බරපතල හානිය වළක්වා දෙන ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නීත්‍යානුකූලව සිදුවන කිසිදු පරීක්ෂණයකට බාධා කිරීමට තමන් ඇතුළු පවුලේ අයට අදහසක් නැති බව පවසන මනෝරි සලේ මහත්මිය, අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවද විමර්ශනවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට සහ ප්‍රශ්න කිරීම් සඳහා පූර්ණ සහයෝගය දක්වන බව තහවුරු කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රජය සූදානම් වන පසුබිමක, රජයේ භාරයේ සිටින පුද්ගලයෙකුගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍යයික සුරක්ෂිතභාවය පිළිබඳ මානුෂීය වගකීම පෙරදැරි කරගෙන ජනාධිපතිවරයා මේ සඳහා කඩිනමින් මැදිහත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඇය යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.




