ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ ගැටුමට FIFA වෙතින් තද තීන්දු
FIFA වෙතින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලාන ඉතිහාසයේ බරපතළම දඬුවම්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පිරිසකට දැඩි දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) පියවර ගෙන තිබේ. ඒ අනුව, ස්පාඤ්ඤයේ එරික් ගාර්සියාගේ ගෙල තදින් අල්ලා ගැනීම සහ ගාවි බිමට තල්ලු කර දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක ලෙයන්ඩ්රෝ පරේඩෙස්ට තරග 10ක තහනමක් පනවා ඇති අතර, මෙය 2014 වසරේදී උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුවාරෙස්ට පැනවූ තහනමට පසුව ලෝක කුසලාන ඉතිහාසයේ පනවන ලද බරපතළම දඬුවමකි.
මෙම තහනම හේතුවෙන් 2027 ජූනි දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග 10ම අහිමි වී යන බැවින්, පරේඩෙස්ට වසරක පමණ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ. මීට අමතරව, ආර්ජන්ටිනා පසුපෙළ ක්‍රීඩක නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක්ද, තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක්ද පනවා තිබේ. මුදලින්ද දඩ නියම කරමින් පරේඩෙස් සහ මොලීනාට අමෙරිකානු ඩොලර් 90,000 බැගින්ද, අල්මාඩාට අමෙරිකානු ඩොලර් 30,000ක දඩයක්ද නියම කර ඇති අතර, ආර්ජන්ටිනා සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාපාටද තරග 3ක තහනමක් සමඟ ඩොලර් 30,000ක දඩයක් නියම වී ඇත.
අදාළ සිදුවීමට සම්බන්ධ වූ ස්පාඤ්ඤ කණ්ඩායමේ ගාවි හටද එක් තරගයක තහනමක් පනවා ඇති අතර, එය එළඹෙන සැප්තැම්බර් 26 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන නේෂන්ස් ලීග් තරගයේදී ක්‍රියාත්මක වනු ඇත. තවද, ආර්ජන්ටිනා කණ්ඩායමට හිමිවූ දඬුවම් අතරට ඔවුන්ගේ ඊළඟ ගෘහස්ථ තරගය ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 50%කට සීමා කරමින් පැවැත්වීමට නියෝග කිරීමද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.






