පාරම්පරික දේශීය වෛද්‍ය දැනුම ඩිජිටල්කරණය වෙයි: TMK මෘදුකාංගය, පුස්කොළ පොත් 10ක් සහ නව කෞතුකාගාරය එළිදැක්වෙයි
පාරම්පරික වෛද්‍ය දැනුම ජාතික උරුමයක් ලෙස සංරක්ෂණයට නව තාක්ෂණික පියවරක්
මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගය එළිදැක්වීම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්‍ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය විවෘත කිරීම සිදු කර තිබේ.
ඒ ඊයේ (18) එම පර්යේෂණායතන පරිශ්‍රයේදීයි.
පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර ඔවුන් සතු වෛද්‍ය දැනුම හා පරම්පරාගත තොරතුරු විධිමත් ලෙස පරිගණකගත කිරීමයි.
එම දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා සහ එම පරම්පරාවන්ට ආවේණික වූ වෛද්‍ය සම්ප්‍රදායන් පිළිබඳ ජාතික ලේඛනයක් සහ අන්තර්ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම ද මෙහි අරමුණකි.
මෙමගින් මෙතෙක් පුද්ගල මතකය, පරම්පරාගත සම්ප්‍රදාය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත රඳා පැවති වටිනා වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ විධිමත් දත්ත පද්ධතියකට එක් කිරීමට හැකි වන අතර, එම දැනුම අනාගත පරපුර වෙත සුරක්ෂිතව සම්ප්‍රේෂණය කිරීමට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා ප්‍රවේශ විය හැකි පදනමක් නිර්මාණය කිරීමට ද හැකියාව ලැබේ.
මෙරට පාරම්පරික වෛද්‍ය උරුමය සම්බන්ධයෙන් පුස්කොළ පොත්වලට හිමිවන්නේ අතිශය වැදගත් ස්ථානයක්.
පරම්පරාගත ප්‍රතිකාර ක්‍රම, ඖෂධ වට්ටෝරු, වෛද්‍ය ශාස්ත්‍රීය දැනුම සහ අතීත වෛද්‍ය අත්දැකීම් රැසක් මෙම පැරණි ලේඛන තුළ සුරක්ෂිතව පවතින බැවින්, ඒවා හුදෙක් පැරණි ලේඛන නොව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය හා බුද්ධිමය උරුමය පිළිබඳ අගනා සාක්ෂි ලෙස සැලකිය හැකියි.
එම වටිනා උරුමය සංරක්ෂණය කිරීමේ අරමුණින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතුව පවතින අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා.
පෞරාණික වෛද්‍ය හා සංස්කෘතික උරුමයට අයත් කෞතුක භාණ්ඩ සංරක්ෂණය කර ඒවා මහජනතාවට, වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත පිරිස්වලට සහ පර්යේෂකයන්ට අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසමින් සාහිත්‍ය පර්යේෂණ අංශයේ ස්ථාපිත කළ කෞතුකාගාරය විවෘත කිරීමද මෙහිදී සිදු වුණා.
පාරම්පරික වෛද්‍ය දැනුම යනු අතීතයෙන් උරුම වූ දැනුම් සම්භාරයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනන්‍යතාව හා සංස්කෘතික උරුමය සමග බැඳුණු ජාතික සම්පතක්.
එබැවින් එම දැනුම විධිමත් ලෙස හඳුනාගෙන, ලේඛනගත කර, සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම වටිනා උරුමයක් සුරැකීමේ ක්‍රියාවලියක් වනවා.
නවීන තාක්ෂණය හා පාරම්පරික වෛද්‍ය දැනුම එකිනෙක සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා, ඒවාට ආවේණික ප්‍රතිකාර ක්‍රම සහ දැනුම් සම්ප්‍රදායන් පිළිබඳ විධිමත් ජාතික දත්ත පද්ධතියක් ගොඩනැගීමට මෙන්ම, අතීතයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන වෛද්‍ය උරුමය නවීන ඩිජිටල් පරිසරයක් තුළ සුරක්ෂිත කර අනාගත පරපුර වෙත භාරදීමට නව මංපෙතක් විවර වේ.




