පොලීසියේ ‘FNA’ සංකල්පය සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම ගැන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගෙන් දැඩි ප්‍රකාශයක්

0
රාජ්‍ය නිලධාරීන්ට දිලීප පීරිස්ගෙන් උපදෙස්

රාජ්‍ය නිලධාරීන්ට දිලීප පීරිස්ගෙන් උපදෙස්

නීති විරෝධී ලෙස රාජකාරිය පැහැර හැරීමට අනුබල දීමේ චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් චෝදනා 855ක් යටතේ මරණ දඬුවම ඉල්ලා සිටි බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල පදනම් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් හමුවේ මෙලෙස නඩු පවරන ලද බවයි.

තමන් විසින් හිටපු පොලිස්පතිවරයාට එරෙහි පැමිණිල්ල මෙහෙයවූ බව මතක් කළ ඒ මහතා, 2019 අප්‍රේල් 09 වන දින රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලබා දුන් විශේෂ තොරතුර පාර්ශව හතරකට යොමු කරමින් හිටපු පොලිස්පතිවරයා තබා ඇත්තේ ‘FNA’ (සුදුසු කටයුතු පිණිස) යන සටහන පමණක් බව අනාවරණය කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු කියා සිටියේ,

“විශේෂ අවධානය යොමු කළ යුතු නැති, පහළ නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක විය හැකි ලිපි සඳහා පමණක් ‘FNA’ ලෙස සටහන් කරන ලෙස අධිකරණය මගපෙන්වීමක් කර තියෙනවා. එසේ තොරතුරක් පහළ නිලධාරීන්ට යොමු කර නොසලකා හැරීමෙන් යම් අපරාධයක් සිදු වුවහොත්, එහි ප්‍රථම වගකීම එකී ඉහළ නිලධාරියා භාරගත යුතුයි. රාජකාරි මට්ටමින් ‘FNA’ ලෙස යැවීමේ පරිපාටිය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු කාලය පැමිණ තියෙනවා.”

එමෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට යම් නීති විරෝධී නියෝගයක් ලැබෙන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරෙන බැවින්, එම උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න ලේඛනගත කිරීමට කිසිදු ලෙසකින් පැකිලිය යුතු නැති බවද හෙතෙම පෙන්වා දෙන ලදි.

දේශපාලඥයන් විසින් කරනු ලබන වංචා හා දූෂණ සම්බන්ධයෙන් FCIDය මගින් කෙරෙන පරීක්ෂණවලදී පවා බොහෝ තීරණ ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බවත්, දේශපාලනඥයන් ලේඛනවල සටහන් නොතැබීමට ප්‍රවේශම් වී ඇති බවත් ඔහු සඳහන් කලේය.

නව නෛතික සංකල්ප සහ අධිකරණ තීන්දු පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාවට සහ අම්පාර වැනි දුරබැහැර ප්‍රදේශවල වෙසෙන පුරවැසියන්ට නිසි ලෙස සන්නිවේදනය නොවීම බරපතල ගැටලුවක් බවත්, වින්දිතයන් බියෙන් පසුවන අතර බහුතරයක් සමාජය මුදල් හා බලය ඇති අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කණගාටුවෙන් ප්‍රකාශ කලේය.

මෙම නඩු විභාගයේදී සාක්ෂි දුන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද ‘FNA’ නැතහොත් ‘සුදුසු කටයුතු සඳහා’ යනුවෙන් යෙදීම ප්‍රශ්නකාරී සටහනක් බවත්, පොලිස්පතිවරයෙකු විසින් යොමු කරනු ලබන එවැනි ලිපියක් සම්බන්ධයෙන් පහළ නිලධාරියා ක්‍රියා කරන්නේ ඔහුගේ දැනුම හා පළපුරුද්ද අනුව මිස පොලිස්පතිවරයෙකුගේ අවබෝධයෙන් නොවන බවත් සාක්ෂි දෙමින් පවසා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com