1 ශ්‍රේණියේ දෙමළ පෙළපොත් 19,800ක් බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට දී නෑ: ඉසුරුපායෙන් පොලීසියට පැමිණිල්ලක්
නැගෙනහිර පළාතට යවපු ලක්ෂ 08ක පොත් තොගයක් අතුරුදහන්
නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත භාරදීමට තිබූ ලක්ෂ 08ක් පමණ වටිනා පොත් තොගයක් නියමිත පරිදි භාර නොදී සාපරාදී විශ්වාස කඩ කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව තලංගම පොලීසිය සඳහන් කරයි.
ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන හා බෙදාහැරීමේ කොමසාරිස් එන්. ඩබ්ලිව්. ඩී. හිරෝෂි ගුණවර්ධන මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
දමිළ භාෂා 01 ශ්‍රේණියට අදාළ පළමු වාරයේ ක්‍රියාකාරකම් හා පෙළපොත් 19,893ක් මෙලෙස භාර දී නොමැති බව අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එම පොත් තොගය ප්‍රවාහනය සඳහා බියගම, සියඹලාපේ, සමෘද්ධි මාවතේ පිහිටි ආයතනයක් මගින් ගිවිසුම්ගතව ටස්මා ඉන්ටර්නැෂනල් ආයතනය වෙත 2026.05.04 වැනිදා 43-9874 යන ලියාපදිංචි අංක දරණ ලොරි රථයෙන් රියදුරු භාරයේ රැගෙන යාමට අවසර ලබාගෙන ඇති බවටද පැමිණිල්ලේ සඳහන්.
අදාළ පොත් තොගය නියමිත ස්ථානවල ලැබී නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශය අංශයේ නැගෙනහිර පළාත් භාරව සිටින ජගත් වන්නිආරච්චි යන අය විසින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව වෙත ඉකුත් 07 වැනිදා දැනුම් දී තිබෙන අතර ඒ අනුව මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.




