​කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 12 සීමාව ඉක්මවා යයි

0
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 12 සීමාව ඉක්මවා යන ලදී.

දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 12.23ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණු අතර එය රු. බිලියන 12.3ක පිරිවැටුමක් සටහන් වූ 2026 ජනවාරි 08 දිනට පසු වාර්තා වූ ඉහළම පිරිවැටුම වේ.

කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඊයේ (05) දිනයේ දී රු. බිලියන 8 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වර්තා වූ පසුබිමක, අද (06) දිනයේ දීද මෙලෙස රු. බිලියන 12ක් ඉක්ම වූ දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය අද (06) දිනයේ දී හුවමාරු වීමත් සමග මෙලෙස වාර්තාගත පිරිවැටුමක් වාර්තා වී ඇත.

එහිදී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු හරහා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 89.78ක් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 9.02ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය. මීට අමතරව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. මිලියන 351ක පිරිවැටුමක් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් ගනුදෙනුවලින් වාර්තා විය. ඒ අනුව අද දිනයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් හුවමාරු තුළින් වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 9.37ක් වේ.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඒ ප්‍රමුඛ කොටස්කරුවා වූ GROUP LEASE HOLDINGS PTE LTD සමාගම විසින් සිය කොටස් හිමිකාරීත්වය අද (06) දින අලෙවි කර ඇති බව මෙහිදී වාර්තා වේ. GROUP LEASE HOLDINGS PTE LTD යනු ඈවර කිරීමට යටත්ව පවතින සමාගමක් වන අතර 2026 ජූනි 30 වන විට කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 95.39ක් හෙවත් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 29.99%කට ඔවුන් හිමිකම් කියනු ලැබීය.

විදේශීය පාර්ශවයක් වන GROUP LEASE HOLDINGS PTE LTD විසින් අලෙවි කරන ලද අදාළ කොටස් හිමිකාරීත්වය මෙරට දේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු විසින් එක්ව මිලදී ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට අමතරව යුනයිඩට් මෝටර්ස් සමාගමෙන් රු. බිලියන 1.02ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් වාර්තා වී තිබුණි.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 102.73කින් ඉහළ ගොස් ඒකක 21,269.67ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.41කින් ඉහළ ගොස් ඒකක 5,971.50ක් ලෙසින් වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *