අවුරුදු කුමාරි තරගයකදී පිඹුරෙකු සමඟ නටපු තරුණියට රුපියල් 50,000ක දඩයක්
පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට රුපියල් 50,000ක දඩයක්
අවුරුදු කුමාරි තරගයකදී ආරක්ෂිත වන සත්වයෙකු වන පිඹුරෙකු සමඟ නර්තනය කිරීම සම්බන්ධයෙන් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක් වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් වනජීවී කාර්යාලය විමර්ශන සිදු කර ඇති අතර, පිඹුරා මුදලට ලබාදුන් පුද්ගලයා සහ තරුණිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ජූලි 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී දෙදෙනාම වරද පිළිගෙන ඇති අතර, ආරක්ෂිත වන සත්වයෙකු රඳවා තබාගෙන නර්තනය සඳහා යොදා ගැනීමේ වරදට තරුණියට රුපියල් 50,000ක දඩයක් නියම කර තිබේ.
එමෙන්ම, පිඹුරා මුදලට අලෙවි කිරීම සහ නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට අනෙක් සැකකරුට රුපියල් 100,000ක දඩයක් නියම කළ බවද අධිකරණය සඳහන් කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ආරක්ෂිත වන සතුන් රඳවා තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතියෙන් තහනම් වන අතර, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.




