​තාක්ෂණික හා ශාක සෞඛ්‍ය කොන්දේසි සපුරාලමින් ශ්‍රී ලාංකික අන්නාසි පාකිස්ථාන වෙළෙඳපොළට

0
ශ්‍රී ලංකා අන්නාසිවලට පකිස්ථාන වෙළෙඳපොළ ප්‍රවේශය

ශ්‍රී ලංකා අන්නාසිවලට පකිස්ථාන වෙළෙඳපොළ ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය වූ තාක්ෂණික හා ශාක සෞඛ්‍ය (Phytosanitary) අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සමග දෙරට අතර කෘෂිකාර්මික වෙළෙඳාම ශක්තිමත් කිරීමේ වැදගත් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ.

වසර ගණනාවක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා සහ නියාමන කටයුතු සාර්ථකව අවසන් වීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකාව සහ පකිස්ථානය නැවුම් අන්නාසි ආනයනය සඳහා අදාළ ශාක සෞඛ්‍ය ආනයන කොන්දේසි අවසන් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට ඇතුළු වීමට මාර්ගය විවෘත වී තිබේ.

මෙම වැඩසටහන කරාච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය, පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානය (NPPO), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ඉස්ලාමාබාද් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.

මෑතකදී පකිස්ථාන ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ගරු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා අන්නාසි, අලිගැටපේර සහ තැඹිලි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ ප්‍රවේශය කඩිනම් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ප්‍රමුඛත්වය අන්නාසි සඳහා ලබා දී ඇති අතර, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාද සාකච්ඡා ඉදිරියට ගෙන යනු ලබයි.

වෙළෙඳපොළ ප්‍රවේශ ක්‍රියාවලියේ කොටසක් ලෙස 2026 ජූලි මාසයේදී පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ තාක්ෂණික නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණ අන්නාසි වගා ප්‍රදේශ සහ ශාක නිරෝධායන පද්ධති පරීක්ෂා කර ඇත.

එම පරීක්ෂණය සාර්ථකව අවසන් වීමෙන් පසු අපනයන පහසුකම් සලසන ශාක සෞඛ්‍ය අවශ්‍යතා අවසන් කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය සඳහා පකිස්ථාන පලතුරු හා එළවළු අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය (PFVA) සහ කොළඹ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයද සහයෝගය ලබා දී තිබෙනවා.

උසස් තත්ත්වයේ නිවර්තන කලාපීය පලතුරු සඳහා පවතින ඉල්ලුම හේතුවෙනුයි පකිස්ථානය ශ්‍රී ලංකා අන්නාසි සඳහා විශාල විභවයක් සහිත වෙළෙඳපොළක් ලෙස සැලකෙන්නේ.

මේ හරහා නුදුරු අනාගතයේදී වාණිජ අපනයන ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය දෙරටේ ගොවීන්, අපනයනකරුවන් සහ වෙළෙඳුන්ට නව අවස්ථා රැසක් උදා වනවා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ශ්‍රී ලංකා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයටද දායක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com