ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට ඩයලොග් ශාඛාවලින් පහසුකම්: CEA සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තබයි
පරිසරය සුරකින්න e-Kunu වැඩසටහන ඇරඹෙයි
ඩයලොග් ආසියාටා සමාගමේ “ඊ-කුණු” (e-Kunu) වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව නව මුහුණුවරකින් එළිදැක්වීම අද (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කර තිබේ.
ඒ අනුව, නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන සංකල්පයට ස්වෙච්ඡාවෙන් අනුගතවෙමින් නම් කරන ලද ඕනෑම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් ඩයලොග් ආසියාටා සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛා වෙත භාරගැනීම අද (03) සිට සිදු කර තිබේ.
මෙම වැඩසටහනට අනුව ඩයලොග් ශාඛා වෙත පාරිභෝගිකයින් විසින් ගෙනැවිත් දෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කර නියමිත පරිදි බැහැර කිරීම සඳහා ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන්නෙක් වෙත යොමු කිරීමේ වගකීම ඩයලොග් ආසියාටා සමාගම සතු වේ.
“ඊ-කුණු” (e-Kunu) වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව නව මුහුණුවරකින් නැවත ඇරඹීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද අද (03) සිදු කෙරුණි.
ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය පාර්ශ්වයෙන් එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා සහ ඩයලොග් ආසියාටා සමාගම පාර්ශ්වයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතායි ගිවිසුමට අත්සන් කළේ.
ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බහාලුම වෙත සංකේතාත්මකව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් කිරීම ද සිහිවටන ඡායාරූපයක් ලබා ගැනීම ද සිදු කළා.
එම අවස්ථාවන්ට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්ෂ මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ ඩයලොග් බිස්නස් සර්විසර්ස් හි ප්‍රධානී හේමක බාලසූරිය මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. මහේෂ් ජල්තොට මහතා සහභාගී විය.
“ඊ-කුණු” (e-Kunu) වැඩසටහන යටතේ ජංගම දුරකථන (Mobile Phones), ලැප්ටොප් (Laptop), ඉලෙක්ට්‍රොනික උපකරණවලට අදාළ චාර්ජර්ස් (Chargers), රැහැන් (Cables), ලිතියම් අයන් බැටරි (Lithium Ion Batteries), වියළි කෝෂ (AA/AAA Batteries), ටෝනර්ස් (Toners), දෘඪතැටි (Hard Disk), සීඩී සහ ඩීවීඩී තැටි (CDs/DVDs), ෆ්ලෝෆි තැටි (Floppy Disks), ස්ථාවර දුරකථන (Landline/Fixed Phones), රව්ටර (Routers) සහ රූපවාහිනී සංඥා පරිවර්තක උපකරණ (Set Top Boxes – STB/ Decoders) යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දිවයින පුරා පිහිටි ඩයලොග් අලෙවි ශාඛා වෙත ගෙනැවිත් භාරදිය හැකියි.
ගෙනැවිත් භාර දෙන ඉලෙක්ට්‍රොනික උපකරණ එක්රැස් කිරීම සඳහා විශේෂිත වූ බහාලුමක් (Container) සෑම ශාඛාවකම තබා තිබෙනවා.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන අපද්‍රව්‍ය වර්ගයක් ලෙසයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.
“ග්ලෝබල් ඊ-වේස්ට් මොනිටර් 2024” (Global E-Waste Monitor 2024) වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී ලොව පුරා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 62ක් පමන ජනනය වී ඇති අතර, එම අපද්‍රව්‍ය වලින් සියයට 22.3ක් පමණක් විධිමත් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සඳහායි යොමු කර ඇත්තේ.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනයවීමේ ප්‍රවනතාව අනුව 2030 වර්ෂය වන විට ගෝලීය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 82ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වේගවත් තාක්ෂණික දියුණුව, නිෂ්පාදනවල ආයු කාලය කෙටිවීම, පාරිභෝගික ඉල්ලුම ඉහළයාම සහ නිරන්තරයෙන් නව ඉලෙක්ට්‍රොනික උපාංග වෙළෙඳපොළට හඳුන්වාදීම යන කරුණු මෙම තත්ත්වයට හේතුවයි.
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම මගින් මිනිසුන්ට, සත්වයින්ට, ශාකවලට මෙන්ම මුළුමහත් පරිසරයටම හානි සිදුවේ. සියලුම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංගවල රසදිය, ඊයම්, කැඩ්මියම්, ඇන්ටිමනි, බෙරලියම්, ආසනික් වැනි බැර ලෝහ වර්ග හා වෙනත් විවිධ වූ විෂ රසායනික අඩංගුවන බැවින් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කළහොත් මිනිසාගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම සත්වයින්ගේ පැවැත්මට ද මුළුමහත් පරිසරයට ද හානි පමුණුවනවා.
තවද, මෙම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල අන්තර්ගත වන බැර ලෝහ සහ අනෙකුත් උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් ගංගා ජලය සමග මුසුවන බව පර්යේෂණ අනුව තහවුරුවී තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි සෞඛ්‍යමය සහ පාරිසරිකමය වශයෙන් බරපතල හානිකර තත්වයන් ඇති වන්නේ.
එලෙසම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ඒවායේ අන්තර්ගත කර ඇති රන්, තඹ, ඇලුමිනියම්, රිදී ඇතුළු දුර්ලභ මූලද්‍රව්‍ය මෙන්ම වටිනා ස්වාභාවික සම්පත් නැවත භාවිතයට ගැනීමට ඇති අවස්ථා ගිලිහී යයි.
එබැවින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කිරීම තුළින් චක්‍රීය ආර්ථිකයක් වෙත යොමුවීමට මංපෙත් විවර වනවා.
එබැවින්, අප සැමගේ වගකීමක් ලෙස සළකා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය සඳහා සහාය ලබාදෙන ලෙසත්, ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තිබේනම් ඩයලොග් ශාඛාවෙත ගෙනැවිත් භාර දීමට හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස්කරන නියමිත ස්ථානයටකට භාරදීමට හෝ කටයුතු කරන ලෙසත් කිසිදු ලෙසකින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙසයි මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකාව පුරා ආරක්ෂිත සහ පාරිසරිකමය වශයෙන් හිතකර ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් කිරීම, අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග බලයලත් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාර දීමට පුරවැසියන්ට වැඩි අවස්ථාවක් සලසාදීම සහ එතුළින් මහජනතාවට සහ පරිසරයට හානිකර නොවන පරිදි වගකීම් සහගත ලෙස එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම තහවුරු කිරීම “ඊ-කුණු” (e-Kunu) වැඩසටහනේ අරමුණයි.




