දුම්රිය තුළ වැඩි මිලට ජල බෝතල් විකිණූ ආයතනයට රු. ලක්ෂ 5ක දඩයක්

0
ජදුම්රිය තුළ වැඩි මිලට ජල බෝතල් විකිණූ ආයතනයට රු. ලක්ෂ 5ක දඩයක්

දුම්රිය තුළ වැඩි මිලට ජල බෝතල් විකිණූ ආයතනයට රු. ලක්ෂ 5ක දඩයක්

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ.

අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම නඩුව සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් 2026 ජූලි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී, රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 1000ක පානීය ජල බෝතලයක් රුපියල් 150ක මුදලකට පාරිභෝගිකයින් වෙත අලෙවි කර ඇති බව අනාවරණය විය.

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව පිහිටි අදාළ ආයතනයට එරෙහිව මෙලෙස නඩු පවරනු ලැබුවා.

දුම්රිය භෝජනාගාර තුළ මෙලෙස අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවද දැනුවත් කර තිබේ.

මෙම ආයතනයට එරෙහිව මීට පෙරද පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී නීත්‍යානුකූලව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලෙසටත්, නැවත මෙවැනි වැරදි සිදු නොකරන ලෙසටත් අදාළ ආයතනයට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

පාරිභෝගික නීති උල්ලංඝනය කරන ඕනෑම වෙළෙඳ ආයතනයකට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, දුම්රිය තුළදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com