ජපන් ආධාරයෙන් ඉදිකළ නව කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ජපන් තානාපති අතින් විවෘත වෙයි
කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය ජනතා අයිතියට
කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල දේශසීමා සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම එම කාර්යාලයේ ප්‍රධාන කාර්යය වන බව සඳහන්ය.
කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මහල් පහකින් යුතු මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබේ.
මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය”යටතේ ඉදිකර ඇත.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සඳහන් කළේය.




