​උසස් පෙළ ඉහළින්ම සමත් වී විදේශ ශිෂ්‍යත්ව ලැබූ සිසුන්ට රජයෙන් අමතර දීමනාවක්

0
විදේශීය විශ්වවිද්‍යල ශිෂ්‍යත්ව ගෙවීම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදේශීය විශ්වවිද්‍යල ශිෂ්‍යත්ව ගෙවීම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

2025 අයවැය යෝජනාවක් අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල සිය ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථා සැලසීම සඳහා රජය මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

ඒ යටතේ එක් ශිෂ්‍යත්වලාභියෙකු සඳහා වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, උපාධි වැඩසටහනේ සම්පූර්ණ සිව් වසරක කාලය සඳහා උපරිම රුපියල් මිලියන 80ක මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනු ලබයි.

ඒ අනුව, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත සිසුන් තිස්දෙදෙනෙකු එම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරා ගනු ලැබ ඇති අතර, මේ වන විට ඒ අතරින් සිසුන් නවදෙනෙකු සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙරටින් පිටත්ව ගොස් තිබේ.

ඉතිරි සිසුන් විදේශගත වීමට අදාළ මුලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ප්‍රධාන විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව මෑතකදී ශ්‍රී ලංකා රුපියල අනපේක්ෂිත ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් එකී සිසුන් විසින් විදේශීය මුදලින් ගෙවිය යුතු ඇතැම් ගෙවීම් සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති මුදල ප්‍රමාණවත් නොවන බවයි පෙනී ගොස් ඇත්තේ.

එබැවින්, විනිමය අනුපාතිකය ස්ථාවර වන තෙක් එම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් ශිෂ්‍යයෙකුට වසරකට රුපියල් මිලියන 2.5ක් දක්වා වූ විනිමය අනුපාතික ගැලපුම් දීමනාවක් ලබා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com