තානාපති අමිර් අජුවත් විසින් සෞදි අරාබියේ ශ්‍රී විජය දහම් පාසල වසා දමා ඇති බවට පළවන පුවත් අසත්‍යයි – ප්‍රධාන ආචාර්ය අතුල කුමාරසිංහගෙන් නිවේදනයක්

0

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල, ගරු තානාපති අමීර් අජුවත් මහතාගේ නියෝගයක් මත නතර කර ඇති බවත්, බෞද්ධ ආගමික කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවත් සඳහන් වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ විකෘති කළ තොරතුරු මත පදනම් වූවකි.

2007 වර්ෂයේදී රියාද්හි ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූ පිරිසෙහි එක් ප්‍රාරම්භක සාමාජිකයෙකු ලෙසත්, පසුගිය දශකයකට අධික කාලයක් එහි ආචාර්ය මණ්ඩලයේ නායකත්වය දරමින් වර්තමානය දක්වා කටයුතු කරන පුද්ගලයා ලෙසත්, මෙම කරුණු නිවැරදි කිරීම ඔබගේ මාධ්‍යයේ පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

2007 වර්ෂයේ සිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව අවශ්‍ය පහසුකම් සහ ඉඩකඩ ලබා දී ඇත. කෙසේ වෙතත්, මෑත කාලයේ තානාපති කාර්යාලය පෙර පැවති ස්ථානයට වඩා සීමිත ඉඩකඩක් සහිත නව පරිශ්‍රයකට ගෙන යාම හේතුවෙන්, මාස කිහිපයක් සඳහා දහම් පාසලේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. එය කිසිසේත්ම දහම් පාසල වසා දැමීමක් හෝ නතර කිරීමක් නොවීය.

ඒ අතරම, 2026 සැප්තැම්බර් මාසයේදී රියාද් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ 2026/2027 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමත් සමඟම, ශ්‍රී විජය බෞද්ධ දහම් පාසලේ අධ්‍යයන කටයුතු ද යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා, පවතින ඉඩකඩ සීමාවන් මධ්‍යයේ වුවද තානාපති කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ සහ පහළ මාලයන්හි අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට ගරු තානාපතිතුමා මීට මාස කිහිපයකට පෙරම අනුමැතිය ලබා දී, ඒ සඳහා අවශ්‍ය කටයුතු ද සම්පාදනය කර තිබුණි.

රියාද්හි වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව මෙම කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වන අතර, දහම් පාසල වසා දැමීමට තානාපතිතුමා කටයුතු කර ඇතැයි පළ වී ඇති පුවත සත්‍ය තොරතුරුවලට පටහැනි බව අවධාරණය කරමි.

එසේම, 2026 මැයි මස පැවති වෙසක් උත්සවයට අදාළව වෙසක් භක්ති ගී ගායනා වැඩසටහන සඳහා පුහුණුව, සිය ගණනක් වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන්, පුරා මාසයක කාලයක් ගරු තානාපතිතුමන්ගේ පූර්ණ අවසරය සහ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළම පැවැත්විණි.

වෙසක් මහෝත්සවයේ ප්‍රධාන උත්සවයට දහස් ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවන බැවින්, තානාපති කාර්යාල පරිශ්‍රයේ පවතින සීමිත ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා පමණක්, ගරු තානාපතිතුමන්ගේ සෘජු මැදිහත්වීමෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන්ගේ නිසි අවසරය ලබාගෙන, එම උත්සවය ඉඩකඩ සහිත වෙනත් සුදුසු පරිශ්‍රයක සංවිධානය කරන ලදී. එබැවින්, වෙසක් උත්සවය හෝ භක්ති ගී වැඩසටහන් තානාපතිතුමන් විසින් නතර කළ බවට පළ කර ඇති ප්‍රකාශය ද සත්‍යයෙන් තොර, ජනතාව නොමඟ යවන ප්‍රකාශයකි.

එබැවින්, මෙම කරුණු පැහැදිලි කිරීම ඔබගේ පුවත් අඩවියෙහි ප්‍රසිද්ධ කරන ලෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අතුල කුමාරසිංහ
ප්‍රාරම්භක සාමාජික සහ ප්‍රධානාචාර්ය
ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල – රියාද්
දුරකථන: +966 559046778

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com