ලංකාව වෙනුවෙන් තරග බිමට එන ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ශූරීන්
ලංකාව වෙනුවෙන් තරග බිමට එන ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ශූරීන්
ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් (Gymnastics) ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් (Luna Durangi Tauscher) යන සොහොයුරියන් දෙපළ ඊයේ (22) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වූහ.
ජර්මානු ජාතික ගෙරාඩ් ටවුෂර් (Gerhard Tauscher) මහතාගේ සහ ශ්‍රී ලාංකික ජාතික ලුවිනී රණසිංහ මහත්මියගේ දියණියන් වන මෙම ක්‍රීඩිකාවන් දෙපළ අතුරින් 10 හැවිරිදි සොලෙයි ටවුෂර්, 2026 ස්විට්සර්ලන්ත ජාතික ශූරතාවලියේදී (Swiss National Championships 2026) විශිෂ්ට දක්ෂතා දක්වමින් අවුරුදු 11න් පහළ ජාතික ශූරතාව (Swiss Champion U11) හිමිකර ගැනීමට සමත් වූ දක්ෂ ක්‍රීඩිකාවකි.
ඇගේ 8 හැවිරිදි නැඟී එන සොහොයුරිය වන ලුනා ටවුෂර් ද ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටියි.ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින මෙම ක්‍රීඩිකාවන් දෙපළ ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට ඇති සිය කැමැත්ත මෙහිදී අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටියහ.
මව්බිමට කීර්තියක් අත්කර දීම සඳහා ඉදිරිපත් වූ මෙම ක්‍රීඩිකාවන්ගේ තීරණය අගය කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසීම සාදරයෙන් පිළිගන්නා බවත්, ඒ සඳහා අමාත්‍යාංශය මගින් අවශ්‍ය සියලුම සහයෝගයන් ලබා දෙන බවත් සහතික විය.මෙම අවස්ථාව සඳහා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.




