පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු 5 දෙනෙකුට මරණ දඬුවම
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු 5 දෙනෙකුට මරණ දඬුවම
අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඊයේ (17) මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනුයි.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන මව, පියා, පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ හිතවතෙකුටයි.
2001 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රී කාලයේදී නිට්ටඹුව පොලිස් බලප්‍රදේශයට අයත් දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට සැකකරුවන් පිරිස කඩා වැදී, එහි සිටි පිරිසට ගල් සහ පොලුවලින් පහර දී ඇති අතර පසුව කඩුවලින් ද කොටා තිබේ.
එම ප්‍රහාරයෙන් එච්. නිහාල් කුමාර නැමැති අවිවාහක තරුණයකු ජීවිතක්ෂයට පත් වූ අතර, නිවසේ සිටි තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විනිසුරුවරයා විසින් මෙම දඬුවම නියම කර තිබේ.




