අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබ්නට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) නියෝග කළේය.
එසේම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කළ අධිකරණය එය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කර තිබේ.
මෙම සැකකරු දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේදී ප්‍රකාශයක් ලබා දීමට කොමිසමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව එම කොමිසම සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් දැනුම් දි තිබේ.
වර්ෂ 2014 ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කරන ලෙස හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් අදාල සමාගම් දෙකට රුපියල් 2,665,000/-ක මුදලක් වැය කිරීමට කටයුතු කරවා තිබීම මෙම සැකකරුට එරෙහි පළමු චෝදනා බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
මීට අමතරව, 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස බෙදා දීම සඳහා සරම් සහ ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය සහ හැට්ට සහිත ඇඳුම් කට්ටල 5,000ක් නිසි ක්‍රමවේදයකින් තොරව මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් සිදුකළ මෙම මිලදී ගැනීම් හරහා එම සමාගම් දෙකට පිළිවෙළින් රුපියල් 3,275,000/-ක් සහ රුපියල් 3,075,000/-ක් වැය කර තිබුණද, එම ඇඳුම් කට්ටල භෞතිකව බෙදා දී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළා.
එසේම, 2013 සහ 2014 වසරවල මැයි දින රැළි සඳහා සහභාගීවූවන්ට ලබා දීම පිණිස හලාවත වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින්ද, කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින්ද ලබා දීමට නිලධාරීන් පෙළඹවීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුනි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබා දෙමින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළේය.




