මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාරය තුළ (06) සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා බවත්, ඒ පිළිබඳව විධිමත් පූර්ණ විමර්ශන කිහිපයක්ම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
සිද්ධියට හේතුව බන්ධනාගාර තදබදයද නැතහොත් වෙනත් කරුණක්ද යන්න සොයා බලා, මෙවැනි සිදුවීම් නැවත සිදුනොවීමට වගබලා ගැනීම රජයේ මූලික වගකීම බව අමාත්‍යවරයා අවධාරණය කල අතර,
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඊට හේතු සෙවීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කරමින් පවතින බව අමාත්‍යවරයා පවසා සිටියා.
එම කමිටුවට විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා යන ජේෂ්ඨ නීතිඥවරුන් පත් කර ඇති බවද ඔහු පවසා සිටියේය
මීට අමතරව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් අභ්‍යන්තර විමර්ශනයක් වශයෙන් තවත් පරීක්ෂණ දෙකක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා.
විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සෘජුවම මේ සඳහා මැදිහත් වන බවත්, හෙට (08) උදෑසන 7.30වන විට බන්ධනාගාර ක්ෂේත්‍රයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන් ඉදිරියට කැඳවා ඇති බවත් පැවසිය.
එහිදී වැඩිදුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ,
“අපි රජයක් වශයෙන් කුමක්ද ඉස්සෙලාම කළ යුත්තේ? ඉස්සෙල්ලාම කරගන්න ඕනේ වෙච්ච වැරදීම් තේරුම් අරන් වැරදි නිවැරදි කරගන්නා ඒක. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි? බන්ධනාගාර තදබදයද? වෙනත් හේතුවක්ද? කියන මේ සියලුම කරුණු සොයා බලා මේක නැවත නොවෙන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. මෙන්න මේ හේතුව හින්දම මේ වන කැබිනට්ටුව හරහා විශ්‍රමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා, මිලින්ද ගුණතිලක මහතා ඇතුලු කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත්කරමින් පවතිනවා.
මේක හොඳින් සිහියට ගන්න මේක රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් වෙන්නේ නෑ. රැඳවියන් අතර ගැටුම වෙන්නේ. ඒකෙන් දෙන්නෙක් මිය යනවා. 34 තුවාල ලබනවා. ඒකට අපි මැදිහත් වෙනවා. ඒක අපිට සමතයකට පත්කරගන්න පුළුවන් වෙනවා.
පසුවෙනිදා උදෑසන නැවත ඉතාම ක්ෂණිකයෙන් උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවි ගෙනියන්න ලෑස්ති වෙද්දි නැවත මෙම දෙපාර්ශ්වය අතර ගැටුමක් ආරම්භ වෙනවා. මේ ගැටුම වෙන්නේ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. මත්ද්‍රව්‍ය ගැන අපිට තොරතුරු දුන්න රැඳවියෝ තමා ඉස්සෙල්ලාම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ගැටුමක් විය හැකියි කියලා. මා මේ කියන සියලු කරුණු තහවුරු වෙන්නේ කමිටු වාර්තාවලින් පසුව. මේ මට මේ මොහොතේ තියෙන තොරතුරු පමණයි. පරීක්ෂණ අනුව වෙනස් විය හැකියි.
මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙමෙයි කෙටි පිරිසක්. බොඩි ස්කෑනර් එක කඩනවා. මොවුන් නාකොටික් සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ඒමට තිබෙන යාන්ත්‍රණය අඩපණ කළ බව තමා තේරෙන්නේ. ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අයඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්ව මියයන්නේ. දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේ දී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා. ”




