නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද පවතින විපක්ෂයේ පොදු හඬවල් ඒකාබද්ධ කිරීමේ අරමුණින් ‘A Team – Next Wave’ නමින් නව දේශපාලන බලවේගයක් ආරම්භ කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මාදුගොඩ යන අයගේ ප්‍රධානත්වයෙන් අද (07) දින මෙම නව දේශපාලන මෙහෙයුම නිල වශයෙන් දියත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ, වත්මන් රජයට පවතින අතිවිශාල බහුතර බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙන්ම පොදු මහජනතාව වෙනුවෙන් ශක්තිමත් හඬක් නැඟීම මෙම වේදිකාවේ මූලික අරමුණක් බවයි.
මේ යටතේ පාර්ලිමේන්තු නියෝජනයක් සහිත මන්ත්‍රීවරුන් මෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටත සිටින විවිධ දේශපාලන කණ්ඩායම්ද ඒකාබද්ධ කරගනිමින් ජාතික වැදගත්කමකින් යුතු ගැටලු පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔවුහු පැවසූහ.
වත්මන් සමාජයීය වටපිටාව තුළ ජනතාව මුහුණදෙන ආර්ථික දුෂ්කරතා, අධික බදු බර මෙන්ම ගොවියන්, ධීවරයන්, උපාධිධාරීන්, තරුණ පරපුර සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දීමට හැකි පළපුරුදු දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාව රටට පවතින බව මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.
මෙම දේශපාලන මුලපිරීමේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ‘මීළඟ ජාතික කණ්ඩායම’ (Next National Team) ලෙස ඉදිරියට පැමිණිය හැකි එක්සත් විපක්ෂ බලවේගයක් ගොඩනැඟීම බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.




