වායු දූෂණය පාලනයට දිල්ලි අගනුවරට දැඩි නීති රීති මාලාවක්

0
වායු දූෂණය පාලනයට දිල්ලි අගනුවරට දැඩි නීති රීති මාලාවක්

වායු දූෂණය පාලනයට දිල්ලි අගනුවරට දැඩි නීති රීති මාලාවක්

ලොව වායු දූෂණයෙන් වැඩිම බලපෑමක් එල්ල වන නගරයක් වන ඉන්දියාවේ දිල්ලි අගනුවර ශීත සෘතුවේදී සිදුවන වායු දූෂණය මර්ධනය කිරීම සඳහා විශේෂ ස්ථිර සීමා මාලාවක් පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය වසර තුනක රාජ්‍ය දත්තවලට අනුව, සෑම වසරකම නොවැම්බර් 01 වනදා සිට පෙබරවාරි 15 වනදා දක්වා කාලය තුළ දිල්ලි නගරයේ වායු ගුණාත්මක දර්ශකය 312ත් 342ත් අතර අගයකට බිඳ වැටේ. සාමාන්‍යයෙන් සෞඛ්‍යයට හිතකර “යහපත්” මට්ටම ලෙස සැලකෙන්නේ වායු ගුණාත්මක දර්ශකයේ අගය 0-50ත් අතර පැවතීමයි.

මීට පෙර බලධාරීන් මෙවැනි සීමාවන් පැනවූයේ වායු දූෂණය දැඩි ලෙස ඉහළ ගියහොත් පමණක් වුවද, ප්‍රකාශයට පත් කළ නව රීතීන්ට අනුව, වායු ගුණාත්මක දර්ශකයේ අගය කුමන මට්ටමක පැවතියද, නොවැම්බර් 01 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ මෙම සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වන නව නීති සහ සීමාවන් මෙසේය.
පෞද්ගලික වාහන භාවිතය අවම කරනු පිණිස වාහන නැවැත්වීමේ ගාස්තු (Parking Fees) දෙගුණ කිරීමට පියවර ගෙන ඇත.

දිල්ලි නගරයේ අධික වාහන තදබදය අවම කිරීම සඳහා සියලුම රාජ්‍ය කාර්යාල ආරම්භ වන සහ අවසන් වන වේලාවන් එකිනෙකට වෙනස් (Staggered timings) වන සේ සකස් කර තිබේ.

අත්‍යවශ්‍ය පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති හැර, අනෙකුත් සියලුම එළිමහන් සිවිල් ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වේ.

නොවැම්බර් 01 සිට ජනවාරි 31 දක්වා කාලය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවල සේවක මණ්ඩලයෙන් 50%ක් අනිවාර්යයෙන්ම නිවසේ සිට සේවය කළ යුතු අතර, ඉතිරි 50%ක පිරිස පමණක් කාර්යාල වෙත කැඳවිය හැකිය.

මෙම නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර මෙන්ම නඩු පැවරීම් සිදු කරන බව එරට රජය අවධාරණය කරයි.

වාහනවලින් පිටවන දුමාරය අවම කිරීමේ තවත් පියවරක් ලෙස, තමන් සතු පැරණි වාහන ඉවත් කර නව විද්‍යුත් වාහන මිලදී ගැනීමට කැමැත්ත පළ කරන වාහන හිමියන් සඳහා අමෙරිකානු ඩොලර් 1,000කට වැඩි (ඩොලර් 1,000+) මූල්‍ය දිරිගැන්වීමක් ලබා දීමටද දිල්ලි රජය මේ සතියේදී තීරණය කර ඇතයි එරට වාර්තා සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com