කොළඹ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම

0
කොළඹ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම

කොළඹ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ නව පහසුකම අද (02) සිට මහජනතාව වෙත විවෘත කෙරිණි.

“ඩිජිටල්කරණය” තුළින් රාජ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්ත සහ ජනතා හිතකාමී කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මෙහි සමාරම්භක උත්සවය අද දින (02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය සහ වාහන ආදායම් බලපත්‍ර අංශය සඳහා ස්ථාපිත කළ POS යන්ත්‍ර විවෘත කරමින් උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර සංකේතාත්මකව නිකුත් කිරීමද සිදු කෙරිණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ, රාජ්‍ය බැංකුවක මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම ආවරණය වන පරිදි මහජනතාවට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමේ හැකියාව හිමිවේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, වේගයෙන් ඩිජිටල්කරණය වන ලෝකයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.

මෙම නව ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් රැගෙන යාමේ අවශ්‍යතාව ඉවත් වන අතර, කෙටි කාලයක් තුළ කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකිවන බවත්, ගනුදෙනු වඩාත් ආරක්ෂිත හා විනිවිදභාවයෙන් යුක්ත වන බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, මුදල් වංචා සහ මුදල් අස්ථානගත වීමේ අවදානම අවම කිරීම, සියලු ගනුදෙනු නිසි ලෙස වාර්තාගත කිරීම සහ විගණනය පහසු කිරීම මෙන්ම රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමටද මෙම වැඩපිළිවෙළ දායක වන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com