ඇමෙරිකාව නියෝජනය කළ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා, ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

0
අමෙරිකාව නියෝජනය කළ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා, ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

අමෙරිකාව නියෝජනය කළ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා, ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි. ජිම්නාස්ටික් තරුව ටියානා එයට අදාළ ලියාපදිංචිය ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් ලබාගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩල හා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය යටතේ තරග කිරීමේ අවස්ථා ටියානා සුමනසේකර වෙත හිමිවනු ඇත.

ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව 2007 වසරේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට්හිදී උපත ලද ටියානා සුමනසේකර අමෙරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් මෑතකාලේ ජයග්‍රහණ රැසකට හිමිකම් කීවාය. විශේෂයෙන්ම ඉදිරි ඔලිම්පික් තරගාවලිය ඉලක්කකර ගනිමින් ඇය පුහුණු කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය ඇගේ ක්‍රීඩා ජීවිතයේ ආඩම්බරකාරී මෙන්ම හැඟීම්බර සන්ධිස්ථානයක් ලෙස ඇය සඳහන් කළාය. ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තබන ලද සටහනක දැක්වෙන්නේ, ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි තමා තුළ සැමවිටම දැඩි ඇල්මක් තිබූ බවත්, ක්‍රීඩාවට පිවිසි පළමු දිනයේ සිටම බෙහෙවින් ඇලුම් කළ බවය.

පසුගිය වසර පහක කාලය තුළ අමෙරිකානු කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම තමාට මහත් ගෞරවයක් වූ බවත්, එම ගමන තුළින් තමාට ලැබුණු සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය සඳහන් කළාය.

“ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීම සැබෑ කරගත නොහැකි යැයි සිතූ සිහිනයක් සැබෑ වීමක්. ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තුළින් තමාගේ උරුමයට ගරු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට දායක විය හැකියාව මට ලැබෙනවා” ටියානා සුමනසේකර සඳහන් කළාය.

පස් වතාවක් අමෙරිකා ජිම්නාස්ටික් කණ්ඩාය‍මේ සාමාජිකාවක් වූ 19 හැවිරිදි ටියානා සුමනසේකර 2024දී එක්සත් ජනපද කණ්ඩායම නියෝජනය කරමින් පෑන් ඇමරිකානු ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට දායක වූවාය.

මේ අතර ටියානා සුමන‍සේකර ඉදිරි ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නි‍යෝජනය කිරීමට නිල වශ‍යෙන් තීරණය කිරීමත් සමඟ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ලොව පුරා පදිංචි වී සිටින ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති සියලු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කිරීමට ආරාධනා කර සිටියේය.

“රට හැර ගිය සියලු දෙනා දැන් රටට පැමිණිය යුතු කාලයයි. ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කිරීමට පැමිණෙන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්නවා” ඇමැතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com