යාපනය සරසවියේ සිසුන් සඳහා වැඩි කළ ශිෂ්‍යාධාර ඉන්දීයාවෙන්

0
යාපනය සරසවියේ සිසුන් සඳහා වැඩි කළ ශිෂ්‍යාධාර ඉන්දීයාවෙන්

යාපනය සරසවියේ සිසුන් සඳහා වැඩි කළ ශිෂ්‍යාධාර ඉන්දීයාවෙන්

යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික අපහසුතා සහිත එහෙත් දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන “වැඩි කළ ශිෂ්‍යත්ව ආධාර” බෙදා දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා දින (02) යාපනය විශ්වවිද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ පසුබිම පිළිබඳව සලකා බැලීමේදී, මීට පෙර 2023-24 අධ්‍යයන වර්ෂයේදී ද ඉන්දීය රජයේ ආධාර යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ තෝරාගත් සිසුන් 100 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 5,000 බැගින් වූ මූල්‍ය ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණි.

එමඟින් ලැබුණු සාර්ථක ප්‍රතිචාර මෙන්ම විශ්වවිද්‍යාල බලධාරීන් සහ සිසුන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුරදී යාපනය විශ්වවිද්‍යාලයේ මෙන්ම නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ද සිසුන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දී තිබිණ.

ඒ අනුව 2025-26 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සකස් කර ඇති මෙම නව වැඩි කළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය යටතේ, සෑම වසරකම පළමු වසරේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂිත සිසුන් 100 දෙනෙකු සඳහා මසකට රුපියල් 7,500 බැගින් මූල්‍ය ආධාර පිරිනැමෙන අතර එම මුදල ඔවුන්ගේ සමස්ත අධ්‍යයන පාඨමාලාව අවසන් වන තෙක්ම අඛණ්ඩව ලබා දීමට නියමිතය.

මෙලෙස ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වන විට, එහි සිව්වැනි වසර වන විට විශ්වවිද්‍යාලයේ සිසුන් 400 දෙනෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව මුදල් පිරිනැමීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙම උත්සව සභාව අමතමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අවධාරණය කළේ, මෙම මූල්‍ය ආධාර මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් වන අතර, ඔවුන්ගේ අනාගතය, පෞද්ගලික වර්ධනය සහ අධ්‍යාපනය වැනි සැබෑ වැදගත් කරුණු කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීමට මේ හරහා මඟ පෑදෙන බවයි.

මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව විසින් සිදු කරනු ලබන දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වයේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස පෙන්වා දිය හැක.

මීට පෙර ද ඉන්දීය රජයේ ආධාර මත රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඉදිකිරීම, උතුරු පළාතේ පාසල් 79කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම, දිවයින පුරා පිහිටි අධ්‍යාපන ආයතන වෙත බස් රථ 110ක් පරිත්‍යාග කිරීම, දකුණු පළාතේ පාසල් 200ක ස්මාර්ට් පන්තිකාමර සහ පරිගණක විද්‍යාගාර ස්ථාපිත කිරීම මෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ බහු-වාර්ගික ත්‍රෛභාෂික පාසලක් ඉදිකිරීම වැනි දැවැන්ත ව්‍යාපෘති රැසක් නිම කර තිබේ. එමෙන්ම වතුකරයේ පාසල් 9ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සහ තෝරාගත් වතුකරයේ පාසල්වල ස්මාර්ට් පන්තිකාමර 60ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති ද මේ වන විට ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com