ජනපතිගේ කතාවට නීතිඥ සංගමයෙන් දැඩි කනස්සල්ල
ජනපතිගේ කතාවට නීතිඥ සංගමයෙන් දැඩි කනස්සල්ල
026 මැයි 25වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැළියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, එම ප්‍රකාශයේ ස්වභාවය අනුව අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් පවතින බවට ඇඟවීමක් සිදු වන බවත්, එය අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු විය හැකි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (1) වගන්තිය ප්‍රකාරව අධිකරණ බලතල හෝ කාර්යයන් පැවරී ඇති සෑම විනිසුරුවරයෙකුම, සභාපතිවරයෙකුම, රජයේ නිලධාරියෙකුම හෝ වෙනත් තැනැත්තෙකුම, එවැනි විනිසුරුවරයෙකු, සභාපතිවරයෙකු, රජයේ නිලධාරියෙකු හෝ එවැනි වෙනත් තැනැත්තෙකු මෙහෙයවීමට හෝ අධීක්ෂණය කිරීමට නීතිය යටතේ හිමිකම් ඇති ඉහළ උසාවියක්, විනිශ්චය සභාවක්, ආයතනයක් හෝ වෙනත් තැනැත්තෙකුගෙන් හැර වෙනත් කිසිදු තැනැත්තෙකුගෙන් ලැබෙන කිසිදු නියෝගයකට හෝ වෙනත් මැදිහත්වීමකට යටත් නොවී එවැනි බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (2) වගන්තිය මගින් එවැනි ක්‍රියා වරදකාරී ක්‍රියාවන් වන බව වැඩිදුරටත් දන්වා සිටිනු ලබන බව නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් පෙන්වා දෙනු ලබනවා.
අධිකරණ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සදාචාරාත්මක අධිකාරිය පවත්වා ගැනීමට මූලික වන බවත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය එම තත්ත්වයට අභියෝගයක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනු ලැබ තිබෙනවා.
විධායකය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දැඩිව තම සංගමය අතීතයේ සිට ම පෙනී සිටි බවත්, අධිකරණයේ අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් හැකි සියලු පියවර ගන්නා බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.




