බංග්ලාදේශය යළි ඇවිලෙයි
බංග්ලාදේශය යළි ඇවිලෙයි
බංග්ලාදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩිගේ මරණයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඩකා අගනුවර පිහිටි ප්‍රධාන පුවත්පත් කාර්යාල දෙකකට විරෝධතාකරුවන් ගිනි තබා තිබේ.
විරෝධතාකරුවන් විසින් බෙංගාලි භාෂාවෙන් පළවන Prothom Alo සහ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන Daily Star යන පුවත්පත් කාර්යාලවලට කඩා වැදී මෙලෙස ගිනි තබා තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.
මෙම ගිනි තැබිම නිසා Daily Star පුවත්පතේ මාධ්‍යවේදීන් සහ සේවකයන් 28 දෙනෙකු ගොඩනැගිල්ලේ වහලය මත පැය ගණනාවක් සිරවී සිටි බවත් පසුව හමුදාව සහ ගිනි නිවන භටයන් පැමිණ ඔවුන්ව බේරාගෙන තිබු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් වසර 35කට පසු ප්‍රථම වතාවට Daily Star පුවත්පතේ මුද්‍රිත පිටපත සිකුරාදා දින ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට බරපතල තුවාල සිදු නොවූවත්, ගොඩනැගිලිවල විශාල කොටසක් පිළිස්සී විනාශ වී තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.
මෙම පුවත්පත් දෙක ඉන්දියාවට හිතවත් සහ අන්තර්වාර රජයට සමීප බවට චෝදනා කරමින් විරෝධතාකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ නායක මුහම්මද් යුනුස්, මෙම ප්‍රහාරය හෙළා දකිමින් සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
මෙම ප්‍රහාරයට හේතු වු 32 හැවිරිදි ෂරීෆ් ඔස්මාන් හාඩි යනු හිටපු අගමැතිනී ෂීක් හසීනා බලයෙන් පහ කිරීමට නායකත්වය දුන් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්.
ඔහු පසුගිය දෙසැම්බර් 12 වැනිදා ඩකාහි මුස්ලිම් පල්ලියක පිටතදී වෙඩි ප්‍රහාරයකට ලක් වු අතර සිංගප්පූරුවේ රෝහලක දින 6ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියා.
මියගිය හාඩි ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර තිබුණා.
හාඩිගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ද ඉන්දියාවට පලා ගොස් ඇති බව බලධාරීන් විශ්වාස කරනවා.
2024 අගෝස්තු මාසයේදී ෂීක් හසීනා ඉන්දියාවට පලා යාමට පෙර ඇති වූ විරෝධතාවලදී පුද්ගලයන් 1,400ක් පමණ මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
