වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ ලොව හොඳම ඡායාරූප 100 අතරට ගිය ‘විෂ ඉඟිය’

0
වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ ලොව හොඳම ඡායාරූප 100 අතරට ගිය ‘විෂ ඉඟිය

වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ ලොව හොඳම ඡායාරූප 100 අතරට ගිය ‘විෂ ඉඟිය

“විෂ සහිත ඉඟිය” (Toxic Tip) ලෙස නම් කර ඇතිමෙරට වනජීවී ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්නගේ ඡායාරූපය, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පවත්වන ලද, වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ (Wildlife Photographer of the Year) හොඳම ඡායාරූප 100 අතරට තේරී පත්ව ඇත.

ලෝකයේ වනජීවී ඡායාරූපකරණයේ විශාලතම සහ කීර්තිමත්ම තරගයක් වන මෙයට, ලොව පුරා රටවල් 95 කින් තරඟකරුවන් 60,636ක වාර්තාගත ඡායාරූප සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබුණි. එම ඡායාරූප අතරින් ලක්ෂිතගේ ඡායාරූපය, හොඳම ඡායාරූප 100 අතරට තේරී පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයකි.

ලක්ෂිත විසින් ගත් මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කුණු කන්දක් ආශ්‍රිතව ආහාර සොයන අලියෙකි. මෙහිදී, මේ ඡායාරූපයේ සෞන්දර්යය සේම එය සමාජයට ලබා දෙන පණිවිඩයත් වැදගත් වේ.

එමගින් ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සේම, කුණු කඳු නිසා වන අලි ජීවිතවලට ඇතිවන තර්ජනයත් අවධානය යොමු කළ යුතු කරුණක් බවට පත් කර ඇත. කුණු කඳු ආශ්‍රිතව අපද්‍රව්‍යවලට හුරු වන අලි ඇතුන් විෂ සහිත ද්‍රව්‍ය අනුභව කිරීම නිසා බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙයි. ඇතැම් විට මෙය ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයකි.

මෙම ඡායාරූපය හරහා ලක්ෂිත කරුණාරත්න ලෝකයටම පෙන්වා දෙන්නේ මේ ඛේදවාචකයයි.

“ඡායාරූපකරණය කලාවක් පමණක් නොව, හඬක් නැති අය සඳහා හඬක් ද බව නැවත වරක් ලෝකයට මතක් කර දී තිබෙනවා. නිල මාධ්‍ය නිකුතුව සඳහා ‘විෂ ඉඟිය’ තෝරා ගැනීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා. අද වන විට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් මාධ්‍ය ආයතන හරහා මෙම කතාවට දේශසීමා ඉක්මවා වේදිකාවක් ලබා දෙනවා” යනුවෙන් ලක්ෂිත අදහස් දක්වමින් පැවසීය.

“අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව කළමනාකරණය කරන ලෝකයක් කරා අපි ගමන් කළ යුතුයි, තිරසාරභාවය යනු තේරීමක් නෙවෙයි ජීවන රටාවක්. අපේ අලි ඇතුන් ආරක්ෂා කිරීමෙන්, අපි විශේෂයක් පමණක් නෙවෙයි අප සැමට අයත් සොබාදහමේ ආත්මයද ආරක්ෂා කරනවා,” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com