කල්මුණේ අන්තවාදී කල්ලි නායකයෙක්යැයි කියූ වෛද්‍යවරයා මාධ්‍යවලට කතා කරයි! චෝදනා ප්‍රතික්ෂේප කරයි!

0
කල්මුණේ අන්තවාදී කල්ලි නායකයෙක්යැයි කියූ වෛද්‍යවරයා මාධ්‍යවලට කතා කරයි! චෝදනා ප්‍රතික්ෂේප කරයි!

කල්මුණේ අන්තවාදී කල්ලි නායකයෙක්යැයි කියූ වෛද්‍යවරයා මාධ්‍යවලට කතා කරයි! චෝදනා ප්‍රතික්ෂේප කරයි!

නැගෙනහිර පළාතේ ‘අන්තවාදී’ ඉස්ලාමීය කණ්ඩායමක් සමඟ සම්බන්ධතා ඇති බව කියමින්, මාධ්‍යවල වාර්තා පළ වූ වෛද්‍ය රයීස්, මාධ්‍යවේදී ෂියාර් අනීස් වෙත සාකච්ඡාවක් ලබාදෙමින් තමන්ට ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සටහන ෂියාර් අනීස් එම සාකච්ඡාව ඇසුරෙන් ලියූ, ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ ලිපිය ඇසුරෙන් ලියූ සටහනකි.

තමන්ට ප්‍රචණ්ඩකාරී අභිප්‍රායන් තිබෙන බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම වෛද්‍යවරයා පවසන්නේ තමන් කිසියම් නීතියක් කඩ කර ඇත්නම් රජයට ඔහුව අත්අඩංගුවට ගත හැකි බවයි.

අන්තවාදී චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළද, ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් සම්ප්‍රදායික මුස්ලිම් කණ්ඩායමක් සමඟ ආරවුල් ඇති කරවන අන්දමේ විකල්ප වූ මත දරන බවයි. 2019 පාස්කු ඉරිදා දින පල්ලි සහ හෝටල්වල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ප්‍රදේශයෙන් ආරම්භ වූ කණ්ඩායම්වල සාමාජිකයින් සම්බන්ධ වීමෙන් පසු නැගෙනහිර ශ්‍රී ලංකාව බලධාරීන්ගේ සහ රටේ අවධානයට ලක් වූ පසුබිමක ඔහු පිළිබඳ මුස්ලිම් සමාජය තුළම නොරිස්සුම් ස්වභාවයක් පැන නැගී ඇත.

සුපර් මුස්ලිම්

කල්මුණේ උතුරු රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරියෙකු වන ඔහු, කල්මුණේවල ‘සුපර් මුස්ලිම්‘ නම් වූ අන්තවාදී කණ්ඩායමක් මෙහෙයවන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

“මේවා විකාර සහගත තර්ක. මම කිසිදු නීතියක් කඩලා නැහැ. මම කිසියම් නීතියක් කඩ කර ඇත්නම්, ආරක්ෂක ආයතනවලට ඕනෑම විටක මාව අත්අඩංගුවට ගත හැකියි.”යනුවෙන් ඔහු කියා ඇත.

කොළඹ සිට කිලෝමීටර් 350ක් නැගෙනහිරින් කල්මුණේ පල්ලිය පාරේ පිහිටි ඔහුගේ තෙමහල් නිවසේ සිට කැලන්තර් ලෙබ්බේ මොහොමඩ් රයීස් හෙවත් ෂියාර් අනීස් වෙත සාකච්ඡාව ලබා දී ති‍බේ.

“මගේ හැසිරීම පිළිබඳ ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට මම සූදානම්.” අළු පැහැති සරමක් ඇඳ සිටි 51 හැවිරිදි ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ උපාධිධාරීයෙකු වන ඔහු ‘සුපර් මුස්ලිම්’ නම් ව්‍යාපාරයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, 2019 දී තවත් ඉස්ලාමීය ව්‍යාපාරයක් සමඟ ඇති වූ මතභේද හේතුවෙන් සමහර අය වැරදි ලෙස ඔහුගේ නම එම කණ්ඩායම සමඟ සම්බන්ධ කළ බව ඔහු ප්‍රකාශ කර ඇත.

“අපි සංවිධානයක් නොවෙයි. තබ්ලීග් ජමාත් නම් ප්‍රධාන ධාරාවේ ඉස්ලාමීය ව්‍යාපාරයක් සමඟ කටයුතු කරමින් ඉඳලා, මතභේදයක් ඇති වූ පසු, අපට සුපර් මුස්ලිම් යන නම පටබැඳුණා,” රයීස් තම 15 හැවිරිදි පුතා ඇතුළු අනුගාමිකයින් තිදෙනෙකු සමඟ පැදුරක් මත කමිසයක් නොමැතිව වැතිරී සිටින අතරතුර එසේ කියා තිබුණි.

“මේ කණ්ඩායමේ බොහෝ සාමාජිකයින් මා වෙත පැමිණියේ ප්‍රධාන ඉස්ලාමීය ව්‍යාපාරවලට වඩා මගේ අදහස්වලට ඔවුන් එකඟ වන නිසා.” ප්‍රධාන ඉස්ලාමීය ව්‍යාපාරය සමඟ ඔහුගේ මතභේදය ඉස්ලාමයේ ආධ්‍යාත්මික පදනම් පිළිබඳ ඇතිව තිබෙන මත භේදයකි.

රයීස් පරිභෝජනවාදයට වඩා අධ්‍යාත්මිකත්වයට වැඩි අවධානයක් යොමු කරයි. තබ්ලීග් ජමාත් යනු ශ්‍රී ලංකාවේ සහ කලාපයේ අනුගාමිකයින් සිටින ජාත්‍යන්තර ඉස්ලාමීය ව්‍යාපාරයකි.

එය මුස්ලිම්වරුන් අතර ආගමික ඉගැන්වීම් ප්‍රවර්ධනය කරන අතර තමන්ගේ නිකායට අයත් පල්ලි වෙත පැමිණෙන ලෙස ඉස්ලාම් භක්තිකයන්ට ආරාධනා කරන සංවිධානයකි.

සුපර් මුස්ලිම් යනු අරාබි, කුරාන් අධ්‍යයන සහ ඉස්ලාමීය ඉගැන්වීම්වල පාඨමාලා සපයන ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කරන ආයතනයකි. දෙමළ භාෂාවෙන් ඔවුන්ට YouTube නාලිකාවක් ද ඇත. රයීස්ගේ අදහස් සුපර් මුස්ලිම් YouTube දේශනා වල සමහර ඉගැන්වීම් සමඟ සමපාත වන අතර, ඔහු පවසන්නේ එම නිසා ඔහු එම කණ්ඩායමට සම්බන්ධ කර ඇති බවයි.

ආගමික, සමාජීය සහ අධ්‍යාපනික කාරණා සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවට මග පෙන්වන ශ්‍රී ලංකාවේ ඉහළම ආගමික ආයතනය වන සමස්ත ලංකා ජම්ඉයතුල් උලමා සභාව (ACJU) ප්‍රකාශ කර ඇත්තේ “සුපර් මුස්ලිම් මතවාදය කුරානයේ බොහෝ පැහැදිලිව කියා ඇති වාක්‍යයන්ට පටහැනි” බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජමෙයිතුල් උලමා සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු රජය විසින් 2021 අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සුපර් මුස්ලිම් නිල වශයෙන් තහනම් කළේය. කෙසේ වෙතත්, එම තහනම පසුව ඉවත් කරන ලදී.

අධීක්ෂණය යටතේ

2019 සිට රයීස් විවිධ ආරක්ෂක ආයතන විසින් අඛණ්ඩව විමර්ශනයට, නිරීක්ෂණයට, ආවේක්ෂණයට ලක්ව ඇත.

“පොලිසිය සහ හමුදා බුද්ධි අංශ විසින් සිදුකරන මේ සියලු විමර්ශනවලින් මම වෙහෙසට පත්වෙලා ඉන්නේ. මම TID (ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව) සහ CID (අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව) වෙත ගිහින් තියෙනවා.” යනුවෙන් ඔහු කියා තිබේ.

“බුද්ධි අංශ නිලධාරීන් මගේ සියලු චලනයන් දිවා රෑ නිරීක්ෂණය කරන බව මම දන්නව. මම විවෘත ලෙස ජීවත් වෙමින් ඔවුන්ගේ කාර්යය පවා පහසු කරල තියෙනවා.” ඔහු තම නිවසේ විවෘත ගේට්ටුව පෙන්වමින් පවසා තිබේ.

“මේ ගේට්ටු ඕනෑම කෙනෙකුට පැමිණ අපව පරීක්ෂා කිරීම උදෙසා සෑම විටම විවෘතව තියෙනවා. මම කිසිවෙකුට කරදරයක් වන්නේ නැහැ. මගේ ඉරණම දෙවියන් විසින් තීරණය කරනු ඇත. කිසිවෙකුට එය වෙනස් කළ නොහැකියි.” යනුවෙන් ඔහු කියා ඇත.

පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේ නැගෙනහිරින් ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායමක් පිළිබඳ බුද්ධි තොරතුරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආයතන විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ හමුදා බුද්ධි අංශයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනය අතර අන්තවාදී මතවාද පතුරුවා හැරීමේ උත්සාහයන් පිළිබඳව රජයට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

ඇතැම් ආගමික ස්ථාන නිරීක්ෂණය කිරීමේදී ළමයින් ඉස්ලාම් ඉගැන්වීම්වලට “පටහැනි” අන්තවාදී මතවාදවලට යොමු කරන බව අමාත්‍ය විජේපාල ප්‍රකාශ කර තිබුණි. ඔහු විශේෂයෙන් කල්මුණේ එවැනි ක්‍රියාකාරකම් පවතින බවක් සඳහන් කළේය.

මෙම ප්‍රකාශවලින් අදහස් කර ඇත්තේ, තමන් පිළිබඳ බව රයීස් විශ්වාස කරයි. එහෙත්, ඔහු එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරයි.

‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා පතුරුවා රට අස්ථාවර කිරීමේ වුවමනවෙන් දේශීය හෝ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් මේ විදියට වැරදි මත පතුරුවනවා වෙන්න පුලුවන්.‘ යනුවෙන් ඔහු කියා තිබේ.

විකල්ප අදහස්

කල්මුණේ පදිංචිකරුවන් EconomyNext වෙත පවසා ඇත්තේ රයීස්ගේ කණ්ඩායම වසර පහකට වැඩි කාලයක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වී ඇති නමුත් ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම පිරිස විධිමත් පාසල් අධ්‍යාපනය, වෘත්තීය රැකියාවන්හි යෙදීම, එන්නත් ගැනීම සහ සුඛෝපභෝගී පරිභෝජනයන් සඳහා සිදුකරන වියදම් වලට එරෙහිව දේශනා කරන බවයි. එනම්, ධනවාදී ජීවන පැවැත්මට එරෙහි දේශනා කරන බවයි. එහෙත්, ඒ අතරම විද්‍යාවේ දියුණුවට පටහැණි ගෝත්‍රික ජීවන පැවැත්මක් යෝජනා කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු පිළිතුරු දෙමින් කියා ඇත්තේ පාසල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීමට හේතුව එහි ඵලදායීත්වයක් නැතැයි කල්පනා කිරීම බවය. ඒ වෙනුවට ගෘහස්ථ අධ්‍යාපනය පලදායී බව ඔහු කියා ඇත.

‘මගේ පුතාගේ වයස අවුරුදු 15යි. ලබන අවුරුද්දේ ඔහු උසස්පෙළ විභාගයට පෙනී ඉන්නවා.‘ යනුවෙන් ඔහු කියා තිබේ. පුතා ගෘහස්ථ අද්‍යාපනය ලබමින් විභාගයට මුහුණදෙන බව ඔහු කියා තිබේ. ‘මම අධ්‍යාපනයට විරුද්ධ නැහැ. නමුත් අපි වත්මන් පාසල් ක්‍රමය සඳහා සම්පත් නාස්ති කරනවා. මම විරුද්ධ වන්නේ ඒකටයි.‘

එමෙන්ම රජයේ රැකියා සහ අනෙකුත් රැකියා වෙනුවට ගොවිතැන, එළුවන් ඇති කිරීම යනාදී සාම්ප්‍රදායික කෘෂි සහ වාණිජ රැකියාවන් ඔහු ප්‍රවර්ධනය කරන්නට හේතුව ඒවායින් වැඩි ආදායක් ලැබීමට ඇති හැකියාව බවත් ඔහු කියා තිබේ.

“මම පවා පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ නියැලීම වෙනුවට කරන්නේ සබන් සහ තෙල් නිෂ්පාදනය වැනි අර්ධකාලීන ව්‍යාපාර.” ඔහු තම නිෂ්පාදන ප්‍රදර්ශනය කරන වීදුරු රාක්ක පෙන්වමින් ප්‍රකාශ කර ඇත.

ඔහුට අනුගාමිකයන් 60 දෙනෙකු පමණ සිටින්නේයැයි අනුමාන කරයි. ඔවුන්ගේ වර්ණවත් ලෝගු සහ හිස්වැසුම් නිසා ඔවුන්ව පහසුවෙන් හඳුනාගැනීමට හැකි බව ප්‍රදේශවාසීහු පවසා තිබේ.

ආගමික විශ්වාසයන් මත අනෙකුත් පුද්ගලයන් සමඟ තමන් නිතර ගැටෙන බව රයීස් පිළිගෙන තිබේ. එවැනි මත ගැටුම් මත පදනම් වූ පොලිස් විමර්ශන සහ නඩු පවතින බව ඔහු පිළිගෙන තිබේ. මීට පෙර ඔහු ඉඩම් ගැටලුවකට අත්අඩංගුවට පත්ව ඇති අතර, එය මත පදනම්ව වෛද්‍යවරයෙකු ලෙස කළ රැකියාව අහිමි වී ති‍බේ. පසුව එම රැකියාව යළි ලැබී තිබේ.

ඔහු ප්‍රකාශ කරන්නේ මේ වන විටත් බුද්ධි අංශ ඔහු පසුපස නිතර ගමන් කරමින් තමන්ව නිරීක්ෂණය කරමින් සිටින බවයි. තමා අපරාධමය වරදක් කරන්නේ නම් ඕනෑ මොහොතක තමන්ව අත්අඩංගුවට ගත හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

– WhatNews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com