හිටපු ජනපතිට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

ගෝඨාභයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

ගෝඨාභයට කාදිනල් හිමිගෙන් ප්‍රතිචාර

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා තිබේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් අප්‍රේල් 21 වැනි ඉරිදා පැවති වැඩසටහනකදී කාදිනල් හිමි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන යටපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවට චෝදනා කර තිබුණි.

එහිදී කාදිනල් හිමි කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු යැයි හිටපු ජනාධිපතිවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා පැවසූ බවය.

කෙසේ වෙතත් එම චෝදනා සිදුකර දින 04කට පසු ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වුනේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලද විගස තමන් කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බව නොපැවසූ බවය.

එමෙන්ම අප්‍රේල් 21 වනදා පැවති වැඩසටහනේදී කාදිනල් හිමි තමන්ට එල්ල කළ අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම මාධ්‍ය නිවේදනයට කාදිනල් හිමි මෙලෙස යළි නිවේදනයකින් ප්‍රතිචාර දක්වා තිබුණි.

එහි දැක්වෙන්නේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සිය අතට පත්වූ දිනට පසුදින තමන් කාදිනල් හිමිට දුරකථන ඇමතුමක් නොගත් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනයෙන් පැවසුවද, එය මුළුමනින්ම අසත්‍ය බවය.

එවැනි ඇමතුමක් හිටපු ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් බව යළිත් තහවුරු කරන කාදිනල් හිමි පවසන්නේ, අදාළ ඇමතුමේදී ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබු මුස්ලීම් ජාතිකයන් අතර වෛරය පැතිරවීමට මුල්වූ ප්‍රතිවිරුද්ධ සංවිධානයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බවය.

“වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර ඒ සමග තහනම් කළ යුතු වෙනත් සංවිධානද නම්කර ඒවායේ විස්තරද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා එදා මා හට දුරකථනයෙන් ප්‍රකාශකර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත්වීම නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි. එම සංවිධානයට රාජපක්ෂ ජනාධිපතිතුමා කිට්ටුවෙන් සම්බන්ධවූ බව අප තේරුම් ගන්නේ එතුමා විසින් එම සංවිධානයේ ලේකම්තුමා පසු කලෙක “එක රටක් එක නීතියක් ” යන කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නට යෙදුණු නිසාය.” යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවු විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර කාදිනල් හිමි තමන්ට පමණක් දොස් නගන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නගන චෝදනාව ද සත්‍යයෙන් තොර බව කාදිනල් හිමි සිය නිවේදනය තුළින් පෙන්වා දී තිබේ.

එහිදී කාදිනල් හිමි හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රහාරය වළක්වා නොගත් පොලීසියේ උසස් නිලධාරීන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොමිෂන් සභාව කර තිබු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිය ධුර කාලය තුළදී කටයුතු නොකළේ මන්ද යන්නය.

එසේම කාදිනල් හිමි සිය නිවේදනය අවසානයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත අද පවතින රජයද ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *