ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට ජාත්‍යන්තර සම්මානයක්
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් මීට මාස කිහිපයකට පෙර සඳ වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 රොකට්ටුවේ මෙහෙයුම වෙනුවෙන් අයිස්ලන්තයේ කීර්තිමත් ලීෆ් එරික්සන් චන්ද්‍ර ත්‍යාගයෙන් පිදුම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නෝර්වේජියානු චන්ද්‍ර ගවේෂකයකු වු ලීෆ් එරික්සන්ගේ නමින් පිරිනැමෙන මේ ත්‍යාගය චන්ද්‍ර ගවේෂණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන පුද්ගලයන්ට සහ ආයතනවලට පිරිනමනු ලබන්නකි.
චන්ද්‍ර ගවේෂණය ඉදිරියට රැගෙන යෑමට සහ අභ්‍යවකාශයේ ගුප්ත තොරතුරු අවබෝධ කරගැනීමට දායකත්වය සැපයීම වෙනුවෙන් එම ත්‍යාගය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට පිරිනමා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාව, රුසියාව සහ චීනයට පසු සඳ ජය ගත් සිවුවැනි රට ලෙසත් ඉතිහාසයට එක්වූ ඉන්දියාවේ එම ඓතිහාසික සඳ ගමනේදී චන්ද්‍රයාන්-3 රොකට්ටුවෙන් පිටතට යවනු ලැබූ වික්‍රම් නමැති ලෑන්ඩරය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත සාර්ථකව ගොඩ බස්සවා තිබිණි. ලීෆ් එරික්සන් ත්‍යාගයෙන් පිදුම් ලැබීම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට ඉදිරියේදී තවදුරටත් එම කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.