කැලෑ බට බීම බට කරන ශ්‍රි ලාංකික ව්‍යවසායකයා

ලොව දිනන්නට අවැසි සම්පත් රටක් ලෙස අප සතුව තිබියදී, මුහුදට දත නියවා බලා සිටීම තරම් අනුවණ කමක් තවත් නැත. ඇතැම් විට හොඳම විකල්ප අප සතු බව අප හඳුනාගන්නේ ආපත්ති අවස්ථාවලදී. පරිසර හිතකාමී තීරණයක් වුණත් පසුගිය ජූනි මාසයේ බීම බට තහනම් කිරීම පාන වර්ග අළෙවිය කෙරෙහි එතරම් සුභ වුණේ නැහැ. එනිසාම ප්ලාස්ටික් බීම බට සඳහා විකල්ප කැරළි ආවා.

තාමත් සාර්ථකම විකල්පය කුමක්ද කියන එක ගැටලුවක් වුණත්, ලංකාවේ තරුණ සහෝදරයන් දෙදෙනෙක් පවත්වාගෙන යන ව්‍යපාරයක් ගැන තොරතුරු ඔබ හමුවේ තියන්න කල්පනා කළා.

”නලපාන” මේ ව්‍යපාරයට තියෙන්නෙ අපූරු නමක්. මේ අදහස රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කුසල් ගුණවර්ධන කියන තරුණයාගෙ. ඔහු වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙක්.

”ලංකාවේ ප්ලාස්ටික් තහනම එන්නත් කලින් තමා මේ අදහස ආවේ. YouTube එකේ වීඩියෝස් බලලා ඉන්නකොට තමා මේ අදහස ආවේ. ඊටපස්සේ තවදුරටත් අන්තර්ජාලය හරහා මේ පිළිබඳ හොයලා බැලුවා.”

මේ අනුව අදහස දියුණු තියුණු කරගන්න කුසල් කටයුතු කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ බට ශාකයේ විවිධ ප්‍රභේද දැකගන්න පුළුවන්. ඒත් අපි බහුතරක් දන්නෙ සහ කතා කරන්නෙ උණ බට ගැන විතරයි. කොහොම හරි කුසල් ජීවත් වන ප්‍රදේශයේ වැඩේට සුදුසුම බට වර්ගයක් තිබුණා.

”සමහරු මේකට කැලෑ බට කියලත් කියනවා රණ බට කියලත් කියනවා. මම රාජකාරි කරන්නෙ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරිඇල්ල කියන ග්‍රාම නිලධාරී වසමේ. ඒ ප්‍රදේශයේ මේ බට සෑහෙන්න ව්‍යාප්ත වෙලා තිබෙනවා. පෞද්ගලික ඉඩම්වල මිනිස්සුන්ට කරදරයක් වෙන තරමට ව්‍යාප්ත වෙලා තිබෙනවා.”

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සම්බන්ධ කර ගනිමින් මේ ව්‍යාපාරයේ ගොඩනැගීමට කුසල් මැදිහත් වෙන්නේ මේ අනුව. ඒත් ඔහු රජයේ සේවකයෙකු වීම නිසාම සෘජුව ව්‍යාපාර කිරීමේ හැකියාවක් ඔහුට නෑ. එනිසාම ව්‍යාපාරයේ වගකීම තමන්ගේ සහෝදරයන් වෙත පවරා දෙන්නට කුසල් කටයුතු කරලා තියනවා.

”මගේ සහෝදරයෝ දෙදෙනා වන ඉෂාර සඳරුවන් ගුණවර්ධනට සහ ඉරෝෂන් චම්පික ගුණවර්ධනට මේ අදහස කිව්වම ඔවුන් ව්‍යාපාරයට කරගෙන යන්න කැමැති වුණා. මේ කටයුත්ත සාර්ථක වෙන්න ඔවුන් ලොකු හේතුවක්…”
මෙම ව්‍යාපෘතිය හරහා සිය ග්‍රාමසේවා වසමේ ජනතාවටද වාසි සැලසෙන පරිදි කුසල් කටයුතු කර තිබේ.

”මේක ප්‍රජා මූලික ව්‍යාපෘතියක් විදියට සැලසුම් කරලා තියෙන්නෙ. මේ ප්‍රදේශයේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වලට මේ බට යම් අදියරක් වෙනකම් නිෂ්පාදනය කරලා සැපයුම සිද්ධ කරන්න පුළුවන්. ඉතිරිය ”නලපාන” ව්‍යපාරයෙන් සිදුකරනවා. වඩාත් සාධාරණ ප්‍රවේශයකින් සැමට ප්‍රතිලාභ ගලායන පරිදි මෙම නව ව්‍යවසාය ආරම්භ කිරීම අගය කළ යුතුය.

”සාමාන්‍යයෙන් අපේ බට පැක් එකක බට පහක් තිබෙනවා. ඒ වගේම පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් බ්‍රස් එකක් අපි ළඟ තිබෙනවා. මේවා නැවත භාවිතා කළ හැකියි. ඩිෂ් වොෂ්වලින් පිරිසිදු කිරීමේ හැකියාවත් උණුවතුරෙන් තම්බා ජීවානුහරණය කිරීමේ හැකියාවත් තිබෙනවා. මෙහි සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ අපිට සහිතක වෙන්න පුළුවන්…”

විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගෙන්ද තමා මේ පිළිබඳ තොරතුරු විමසා දැනගත් බව කුසල් අප සමඟ සඳහන් කළේය. සාමාන්‍ය හැඳි ගෑරුප්පු නැවත භාවිතා කරන ආකාරයෙන්ම මෙම බීම බට නැවත භාවිතා කිරීමට හැකි බව ඔහු පවසනවා. එහෙත් තාමත් මේ විකල්පය එලෙසින්ම භාරගන්න සමහරුන් සූදානම් නැහැ. මේ පිළිබඳ සහතික කිරීමක් පිළිබඳ අවශ්‍යතාව කුසල් ඇතුළු පිරිසට මතුවෙලා.

”කොහොම වුණත් මේ වනවිට අපිට දේශීය විදේශීය වශයෙන් ඇණවුම් ලැබෙමින් පවතිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපි එක ඇණවුමක් යවන්න සමත් වුණා. තවත් විදේශීය ඇණවුම් කිහිපයක්ම ලැබිල තියෙනවා.”
මේ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න Nalapana මුහුණු පොතේ පිටුව හරහා පුළුවන්.

”අපි බලාපොරොත්තු වෙන්නේ තවත් ඇණවුම් ලබා ගැනීම. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ අපනයනය කරන්න බලාපොරොත්තු වන අයගෙන්. ඒ වගේම රාජ්‍ය ආයතනවලිනුත් අපි සහයෝගයක් අපේක්ෂා කරනවා.”

සැබැවින්ම මෙම නව අදහසට සහයෝගය ලබාදීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. එමෙන්ම ව්‍යාපාරය ප්‍රවර්ධනය කොට ශ්‍රී ලාංකීය සන්නාමයක් ගොඩනැගීමටත්, සැලකිය යුතු අපගේම වෙළඳපොළක් අත්පත් කරගැනීමටත්, දේශීය පාරිසරික ගැටලුවට විසඳුමක් ලබාදීමටත් මේ තරුණයන්ට හැකිවනු ඇත. සිදුවිය යුත්තේ මෙම තරුණ සොහොයුරන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදීමයි.

Credit : irinews

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *