මත් කරල් ලක්ෂ 5ක් සමඟ සැකකරුවන් දෙදෙනකු කල්පිටියේදී නාවික භාරයට

මත් කරල් ලක්ෂ 5ක් සමඟ සැකකරුවන් දෙදෙනකු කල්පිටියේදී නාවික භාරයට
ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට තැත් කළ මත් කරල් ලක්ෂ පහකට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු කල්පිටිය මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ (09) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මේ මත් කරල් තොගය හමු වී ඇත. මත් කරල් පන්ලක්ෂ හැත්තෑ දහසක (570,000) තොගයක් එම ඩිංගි බෝට්ටුවේ තිබී ඇත.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා, ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කළ බව නාවික හමුදාව පවසයි.
එම ඩිංගි යාත්‍රාව තුළ ඇසුරුම් දහයක (10) මේ මත් කරල් තොගය තිබී ඇත. සැකකරුවන් වයස අවුරුදු 33ක් හා 39ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා සහ මත් කරල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.