කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් SPCයට 2022දී කෝටි 15කට වැඩි පාඩුවක්

කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් SPCයට 2022දී කෝටි 15කට වැඩි පාඩුවක්

කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් SPCයට 2022දී කෝටි 15කට වැඩි පාඩුවක්

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව තත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමටත් ඖෂධ කල් ඉකුත්වීමට හේතු සොයා බලා පිළියම් යෙදීමටත් එම මුදල් අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමටත් කටයුතු කළ යුතු බව එම කාර්යාලය ඖෂධ සංස්ථාවේ පාලනාධිකාරියට නිර්දේශ කර ඇත.

සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබියදී 2022 දෙසැම්බර් 31 දිනට තත්වයෙන් අසමත්වූ කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුලු වටිනාකම රුපියල් කෝටි 34 ඉක්මවන බවද එම වාර්තාවේ දැක්වේ.

පසුගිය වර්ෂයේදී පමණක් තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුළු වටිනාකම රුපියල් කෝටි 6ක් බවද වාර්තාව සඳහන් කරයි.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය 2022 වර්ෂය සඳහා මිලදීගෙන තිබූ තොග අතරින් රුපියල් කෝටි විසි හයකට වැඩි වටිනාකමින් යුතු ඖෂධ වර්ග 19 තත්වයෙන් අසමත්වී තිබූ බව පවසන විගණන කාර්යාලය ඉන් ඖෂධ 11 සඳහා හරපත් නිකුත් කර තිබුණද ඊට අදාළ රුපියල් කෝටි 14ක මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන නොතිබූ බවද සඳහන් කරයි.

තවද වෛද්‍ය සැපයුම් අංශයට තත්වයෙන් අසමත් හා හානිවූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරන ලද පිරිවැය පරිපාලන ගාස්තු සහ එම තොග විනාශ කිරීමේ වියදම් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට 2022 දෙසැම්බර් 31 වනවිට නිකුත් කර තිබූ රුපියල් කෝටි 340කට වැඩි වටිනා හරපත් සඳහා රුපියල් කෝටි 152ක් විගණිත දිනය වනවිටත් අයකරගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබුණු බව වාර්තාවේ දැක්වේ.

පසුගිය 2022 දෙසැම්බර් 31 දිනට අසාදු ලේඛන ගත කර සිටි සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ රුපියල් කෝටි 30කට වැඩි මුදලක්ද අය කර ගැනීම අවිනිශ්චිත තත්වයක පැවතුණ බව වාර්තාවේ සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විගණනයට අදහස් දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය පවසන්නේ හරපත් වටිනාකම ලෙස පැවතුණු රුපියල් කෝටි පහකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අයකර ගෙන ඇති බවයි.

ගෙවීම පැහැර හැරීම නිසා රුපියල් කෝටි හැට නවයක පාඩුවකට අදාල සැපයුම්කරුවන් අසාදු ලේඛන ගත කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන බවද සංස්ථාව විගණන නිලධාරීන්ට පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *