නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ

කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයින් නම් කරයි

කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයින් නම් කරයි

නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසේ.

නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් 27වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ජුනි 21වනදා සහ ජුලි 07වනදා එය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.

පනත් කෙටුම්පත තුන් වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව (19) පැවති අතර, එහිදී කෙටුම්පතට නව සංශෝධන රැසක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.

මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, එම තනතුරට මෙතෙක් පැවති බලයට වඩා වැඩි ක්‍රියාකාරී බලයක් නව පනතින් ලබා දී තිබේ.

එමෙන්ම නව පනතින් එක් එක් ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති විමර්ශන නිලධාරින් කොමිසමට සෘජුව බඳවාගැනීමේ අවස්ථාවද හිමි වේ.

එමෙන්ම නව පනත ඔස්සේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිව ඇති අතර, අවශ්‍ය අවස්ථාවකදී ඊට නීතිපතිවරයාගේ සහාය ද ලබාගත හැකිය.

නව පනතින් අල්ලස් සහ දූෂණය යන වචන සඳහා පුළුල් අර්ථයක් ලබා දී ඇති අතර, ලිංගික අල්ලස් ලබාගැනීමද මෙමගින් සාපරාධි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.

රාජ්‍ය ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය ආයතන හා බැඳුණු පෞද්ගලික ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම්ද නව පනත යටතේ වරදක් ලෙස සලකනු ඇත.

නව දූෂණ විරෝධි පනතින් මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් නොවුණු ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, මහ ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඔවුන් වාර්ෂිකව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව කොමිසමට හිමිවෙයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම්වල අස්වාභාවික ඉහළ යාමක් දකින්නට ලැබෙන්නේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ බලයද කොමිෂන් සභාවට හිමිය.

නව දූෂණ විරෝධි පනත තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් ආශ්‍රිතව සිදුවන්නා වූ දූෂණ හා වංචාවලට අදාළවද නීති සම්පාදනය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *