IPL නිමාවෙද්දී අලුත් ගස් 147,000ක්; තීක්ෂණ – මතීෂ ගෙන් ගස් 16,000ක්

IPL නිමාවෙද්දී අලුත් ගස් 147,000ක්; තීක්ෂණ - මතීෂ ගෙන් ගස් 16,000ක්

IPL නිමාවෙද්දී අලුත් ගස් 147,000ක්; තීක්ෂණ - මතීෂ ගෙන් ගස් 16,000ක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග දෙකකදී ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ යැවූ ලකුණු ලබා නොදුන් පන්දු 32ක් වෙනුවෙන් ගස් 16,000ක් සිටුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාම අවසන් වටයේ තරග දෙකකදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 16 බැගින් පන්දු 32ක් යැවූ හෙයින් එම එක් පන්දුවකට ගස් 500 බැගින් පරිසර පද්ධතියට එක් වේ.

මහීෂ් තීක්ෂණ පෙරේදා නිමාවූ ගුජරාට් ටයිටන්ස් සමඟ අවසන් මහා තරගයේදී ලකුණු ලබා නොදුන් පන්දු 8ක් යැවූ අතර, එයට පෙර පළමු අවසන් පූර්ව තරගයේදී එම කණ්ඩායමට එරෙහිව ලකුණු ලබා නොදුන් තිත් පන්දු 8ක් යොමු කළ බැවින් එම පන්දු 16ට ගස් 8000ක් සිටුවීමට සිදුව තිබේ. මතීෂ පතිරණ ගුජරාට් ටයිටන්ස් සමඟ අවසන් මහා තරගයේදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 7ක් යැවූ අතර එයට පෙර පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු ලබා නොදුන් පන්දු 9ක් යොමු කළ බැවින් ඔහුගේ නමටද ගස් 8000ක් සිටුවේ.

අවසන් වටයේ තරගවලදී යවන ලද ලකුණු ලබා නොදුන් සෑම තිත් පන්දුවක් වෙනුවෙන් ගස් 500 බැගින් සිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතිඥා දුන් බැවින් මේ සතියේදී එම ගස් සිටුවීමේ ව්‍යාපාරය නිමා කිරීමට සැලසුම් කොට ඇත. විස්සයි20 වැනි කෙටි ආකෘති ක්‍රිකට් තරගවලදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු යැවීම ඉතා අසීරු කටයුත්තක් බැවින් එය සැලකිල්ලට ගෙන මේ පරිසර සංරක්ෂණ කාර්ය ඉටු කිරීම ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සංවිධායකයන්ගේ අදහස විය.

සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ සිට අවසන් මහා තරගය දක්වා ලකුණු ලබා නොදුන් තිත් පන්දුවක් යැවූ සෑම අවස්ථාවකම රූපවාහිනී ලකුණු පුවරුවේ ‘තිතක්’ වෙනුවට ‘ගසක්’ සංකේත කොට පෙන්වීම කාගේත් සිත්ගන්නා කරුණක් විය. සෑම ඕවරයකම ප්‍රගති ප්‍රස්ථාරය රූපවාහිනී තිරයේ දිස්වෙද්දී හරිත වර්ණයෙන් ගස්වල සංකේත ප්‍රදර්ශනය වීම නැවුම් ආශ්වාදයකි.

ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පළමු ගැටුමේදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 84ක් යැවූ අතර, එහිදී ගස් 42,000ක්, මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර එළිමනේටර් තරගයේදී තිත් පන්දු 96ක් යැවීම හේතුවෙන් ගස් 48,000ක්, ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර, සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී තිත් පන්දු 68ක් යැවීමෙන් ගස් 34,000ක් හා අවසන් මහා තරගයේදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 46ක් යැවූ හෙයින් ගස් 23,000ක් පරිසර පද්ධතියට එක්වේ.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග 4කදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 294ක් යොමුවීම හේතුවෙන් අලුත් ගස් 147,000ක් රෝපණය කිරීමේ දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් දියත්වීම ප්‍රශංසනීය වේ.

මේ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළට වැඩිම දායකත්වයක් දැක්වූ පන්දු යවන්නා වූයේ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩක ආකේෂ් මාද්වාල් වන අතර, ඔහු තරග 2කදී ලකුණු ලබා නොදුන් තිත් පන්දු 24ක් යවා ගස් 12,000ක් හා ගුජරාට් ටයිටන්ස් වේග පන්දු යවන මොහොමඩ් සමී තරග 3කදී තිත් පන්දු 21ක් යවා ගස් 10,500ක් සිටුවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *