සොරකම් නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි අනාරක්‍ෂිත තත්වයක්

ජාතික රෝහලේ රෝගීන්ට දෙන ආහාරය නුසුදුසුයි

ජාතික රෝහලේ රෝගීන්ට දෙන ආහාරය නුසුදුසුයි

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ රන් ආභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

රෝහල අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙසේ පැමිණ රෝගීන් සතු දෑ සොරාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැමුන් රෝහලේ සාත්තු සේවකයන් මෙන් සැරසී පැමිණ සොරකම් කරන බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

දිනපතාම පාහේ මෙලෙස සොරකම් වාර්තා වන නිසා රෝහලේ දැනට පවතින පොලිස් මුරපොල වෙනුවට පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි ඉල්ලා රෝහල් බලධාරීන් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, ඔවුන් මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ නිසා රාජකාරී බහුල බව කියමින් ඔවුන් එය මගහරින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් මහජන ආරක්‍ෂාව භාර ඇමතිවරයාගෙන්ද රෝහලේ ආරක්ෂාව තහවුරු කරදෙන මෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

රෝහල් ඇතැම් කනිෂ්ඨ සේවකයන්ද මෙම සොරකම් සඳහා සහය දක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට දිගින් දිගටම පැමිණිලි කළත් තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවද හෙතෙම පැවසීය.

මේ වන විට රෝහල් සේවකයන් විසින් සොරකමේ පැමිණි කිහිපදෙනකු අල්ලා පොලීසියට භාර දී තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ රෝහලේ වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් සතු දෑ සොරාගෙනයාමේ සිදුවීම් විටින් විට වාර්තා වන බවත්, එම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් පැමිණ තොරතුරු සටහන් කරගෙන ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය. සොරකම් කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද නැතහොත් වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක්ද යන්න තමන් නොදන්නා බවද අධ්‍යක්‍ෂවරයා කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *