යාපනයේ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ චීන තානාපතිට අප්‍රසාදය පළ කරයි

යාපනයේ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ චීන තානාපතිට අප්‍රසාදය පළ කරයි

යාපනයේ ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ චීන තානාපතිට අප්‍රසාදය පළ කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්ග් හොන්ග්ට අප්‍රසාදය පළ කර තිබෙනවා.

මීට හේතුව වන්නේ චීන තානාපතිවරයාගේ ප්‍රකාශයකි. තානාපතිවරයා මෙම ප්‍රකාශය කර තිබුණේ, චීනයේ ආන්දෝලනාත්මක අධි තාක්ෂණික නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ආපසු ගොස් දින කිහිපයකට පසුවය.

එහිදී ඔහු පවසන්නේ, පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ හෝ ආක්‍රමණය කළ ඇතැම් රටවල්වලට වඩා වෙනස්ව, චීනය ශ්‍රී ලංකාවට සහාය දෙන බවයි.එනම් මෙම ප්‍රකාශයෙන් තානාපතිවරයා සෘජුවම චෝදනා කර තිබුණේ බටහිර බලවතුන්ට සහ ඉන්දියාවට බවයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ.

චීනය සහ ශ්‍රී ලංකාව බාහිර බලවේගවල තර්ජනවලට මුහුණ දී ඇති සහ තවමත් මුහුණ දෙන රටවල් දෙකක් ලෙස හුවා දක්වමින්, එවැනි තර්ජනවලට එරෙහි වීමට චීන-ලංකා ඒකාබද්ධ ප්‍රයත්නයක් දියත් කළයුතු බව තානාපතිවරයා අවධාරණය කර තිබුණා.

මෙහිදී චීන තානාපතිවරයා පසුගියදා තායිවානයේ උණුසුම්වූ තත්ත්වයන් සහ ශ්‍රී ලංකාවේ ආසන්නතම සිදුවීම් ගලපන්නටද කටයුතු කර තිබෙනවා.

තායිවාන බෙදුම්වාදීන්ට සහාය දැක්වීම හරහා “එක් චීනයක්” ප්‍රතිපත්තියට එක්සත් ජනපදය තර්ජනය කිරීම සහ චීන අධි තාක්ෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ඉන්දියාව විරුද්ධවීම යන සිදුවීම් එකිනෙක සමාන බව ඔහු එහිදී පෙන්වා දුන්නා.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න යළිත් ඇවිස්සීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය ජනතාව තවමත් දැඩි ආර්ථික හා මානුෂීය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින බැවින්, මානව හිමිකම් ගැන නිතරම කියන එම රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කළ හැකිය. ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද? එසේත් නැතිනම් ඔවුන් නැවතත් මානව හිමිකම් වසන් කිරීමේ මෙවලමක් ලෙස රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කටයුතු කරයිද? ”

තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග, පැය කීපයක් ඇතුලත ඉන්දියාව ඊට බරපතල ලෙස ප්‍රතිචාර දැක්වීය.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩ මාලාවක්ම නිකුත් කරමින් පසුගිය සති අන්තයේ අවධාරණය කරනු ලැබුවේ තානාපතිවරයා විසින් පළ කළ අදහස් මගින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

“චීන තානාපතිතුමා විසින් පළ කළ අදහස් අපගේ අවධානයට ලක්ව ඇත. එතුමා විසින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැක. ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු.”

එසේ පවසන ඉන්දීය තානාපති කාර්යාලය අවධාරණය කළේ විද්‍යාත්මක පර්‌යේෂණ නෞකාවක් බව කියන ‘යුවාන් වැන්ග් 5’ නෞකාවේ සංචාරය සඳහා තානාපතිවරයා විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කිරීම විසින්ම එම සංචාරයේ අරමුණ පැහැදිලිවී ඇති බවයි.

මෙම ප්‍රකාශයට යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයද බරපතල විරෝධයක් පළකර ඇති අතර එම ශිෂ්‍ය සංගමය අවධානය යොමුකර ඇත්තේ චීන තානාපතිගේ ප්‍රකාශයේ වෙනත් තැනකටය.ඔවුන් පෙන්වාදෙන්නේ, චීනය ශ්‍රී ලංකා රජයට සිදුකරන බලපෑම වැඩිකරනු ඇතැයි ජනතාව බියෙන් පසුවන බවයි.

ශිෂ්‍ය සංගමය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ චීන තානාපතිවරයා මීට පෙර යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලට සම්ප්‍රදායික දෙමළ විලාසිතාවෙන් සැරසී පැමිණීම ජනතාව රැවටීමේ උත්සාහයක් බවයි.මහා ශිෂ්‍ය සංගමයේ මෙම විරෝධය නිසා කෘෂිකර්ම පීඨය සහ චීන කෘෂිකර්ම ආයතනයක් අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක්ද දින නියමයක් නොමැතිව කල් දැමුණ බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පසුගියදා වව්නියාවේදී පැවැත්වූ විශේෂ ජනමාධ්‍ය හමුවකදී පෙන්වාදුන්නේ ධීවර කර්මන්තරය සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කරමින් ජනතාව ඉන්දියාවට විරුද්ධ බව හුවාදැක්වීමට චීනය උත්සාහ කරන බවයි.
– liveat8.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *