මහනුවර පෙරහරෙත් මහා පරිමාණ ජාවාරමක්


මහනුවර පෙරහරෙත් මහා පරිමාණ ජාවාරමක්
මහනුවර ඇසළ පෙරහර නැරඹීමට එන ජනතාව සඳහා මහනුවර මහ නගර සභාව මගින් ක්වින්ස් කොරිඩෝවේ යොදා තිබෙන පුටු නගර සභාව විසින් නියම කරන ලද මිල ගණන්වලට නොවිකුණා ජාවාරම්කරුවන් හා එක්ව ඉහළ මිල ගණනවලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇත.
මෙවර ක්වින්ස් කොරිඩෝවේ පුටු දැමීම සඳහා පෞද්ගලික අංශයට බදු නොදී අදාළ කටයුත්ත නගර සභාව මගින්ම සිදු කරන්නට තීරණය කර තිබිණි.
ඒ අනුව, නගර සභාව සාධාරණ මිල ගණන්වලට පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට පුටු අලෙවි කිරීමට පියවර ගෙන තිබූ නමුත් පෙරහර වීදී සංචාරය ආරම්භ වීමත් සමග එම කටයුත්ත ජාවරම්කරුවන් අතට පත්ව ඇත.
පෙරහර පුටු මිලට ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන අංකවලට කතා කිරීමේදී ඔවුන් පවසන්නේ පුටු සියල්ල අලෙවි වී අවසන් බවය. මහනුවර පුද්ගලයන් කිහිප දෙනෙකු පුටු සියල්ල මිලට ගෙන තිබෙන බැවින් ඔවුන්ගෙන් පුටු මිලට ගන්නා ලෙස නගර සභා සේවකයන් දැනුම් දෙන්නේ අදාළ පුද්ගලයන්ගේ දුරකතන අංකද ලබා දෙමිනි. එම අංකවලට කතා කිරීමේදී කුඹල් පෙරහර නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 7,000ක්ද රන්දෝලි පෙරහරක් නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 10,000ක්ද අය කරන බව පවසයි.
නගර සභාව මැදිහත්ව සිදුකළ යුතු පෙරහර පුටු අලෙවිය ජාවාරම්කරුවන් අතට පත්වීම සම්බන්ධව මහනුවර ජනතාව අප්‍රසාදය පළ කර සිටිති.
මේ සම්බන්ධව වහා සොයා බලා පියවර ගන්නා බව මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.