පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක් අතුරුදන් – AFP පුවත් සේවය

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක් අතුරුදන් - AFP පුවත් සේවය

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක් අතුරුදන් - AFP පුවත් සේවය

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා බලධාරියෙකු උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කරයි.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමති වූ ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ කළමනාකරුවෙකු ඔවුන්ගේ තරග ඉසව් අවසන් කිරීමෙන් පසු අතුරුදහන් වී ඇති බවය. ඔවුන්ගෙන් තිදෙනෙකු වන ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇයගේ කළමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශානිත් චතුරංග පසුගිය සතියේ අතුරුදන් වූ බව ඉකුත් සතියේ වාර්තා විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිලධාරීන්ට පොලිසියට පැමිණිලි කිරීමටද සිදු වී තිබිණි. ඔවුන් රැකියා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට උත්සහ දරන බවට සැක පළ වී ඇතැයි අදාළ නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, පසුව අතුරුදන් වූ අනෙක් සාමාජිකයින් 7 දෙනා කවුරුන් දැයි ශ්‍රී ලංකා නිලධාරියා අනාවරණය කර නොමැත. මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා 160 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පසුගියදා පියවර ගෙන තිබිණි. AFP පුවත් සේවය වාර්තා කළේ, නමුත් එයින් ඇතැමෙකු අතුරුදන් වීම වැළැක්විය නොහැකි වූ බවය.

බ්‍රිතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් එරට නීති උල්ලංඝණය නොකළ නිසාත් මාස හයක් වලංගු වීසා බලපත්‍ර තිබූ නිසා ත් කිසිදු පියවරක් නොගත් බව ශ්‍රී ලංකා නිලධාරියා AFP වෙත ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, එරට පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වෙත අදාළ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දෙන ලෙස දැන්වූ බවත් සොයා ගත් ක්‍රීඩකයින් සිටින ස්ථානයක් පිළිබඳව හෙළි නොකළ බවත්ය.

බ්‍රිතාන්‍යයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පොලිස් බළකාය, ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳ වාර්තා පිළිබඳව සොයා බලන බවත්, “ඔවුන් ආරක්ෂිතව සහ හොඳින් සිටින බවට පරීක්ෂණ අඛණ්ඩව කරගෙන යන” බවත් ප්‍රකාශ කර තිබේ.

අතුරුදහන් වූවන් 10 දෙනෙකු සිටින බවට කරන ලද ප්‍රකාශය ඇතුළුව වැඩිදුර අදහස් දැක්වීමට එම බළකාය ප්‍රතික්ෂේප කර ඇති අතර බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයද අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව AFP පුවත් සේවය වාර්තා කර ඇත.

අගෝ. (07) සවස් වන විට ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් අතුරුදන් වූ බවට මීට පෙරද වාර්තා විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ මල්ලවපොර කළමනාකරු තම කණ්ඩායම අතහැර දමා ලෝක ශූරතා තරගාවලිය අතරතුර ඔස්ලෝහිදී අතුරුදහන් විය.
2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකුද අතුරුදන් වී තිබිණි.

එමෙන්ම, 2004 වසරේ ශ්‍රී ලංකාවට ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායමක්වත් නොතිබූ අවස්ථාවක, රට නියෝජනය කිරීමට පෙනී සිටි 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගි වී අතුරුදහන් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *